SRILANKAN NEWS

විපතට පත් ජනතාවට විකල්ප ඉඩම් ලබාදීම පිළිබඳව ජනපති ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

විපතට පත් ජනතාවට විකල්ප ඉඩම් ලබාදීමට පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනපති ප‍්‍රධානත්වයෙන්අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට විකල්ප ඉඩම් ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (27) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ලේකම්වරුන් විසින් තම දිස්ති‍ත්‍රික්කවල ඉඩම් අවශ්‍යතාවයන් හා හඳුනාගෙන ඇති ඉඩම් පිළිබඳ මෙහිදී තොරතුරු ඉදිරිපත් කළහ.

මෙම පදිංචිකිරීම් සඳහා හැකිතරම් රජයේ ඉඩම් භාවිතා කිරීමට කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා රජයේ ඉඩම් ප‍්‍රමාණවත් නොවන අවස්ථාවල පමණක් වැවිලි සමාගම් සතු පෞද්ගලික ඉඩම් ලබා ගැනීමේ හැකියාව සොයා බැලීමට ද උපදෙස් දුන්නේය.

ඉඩම්, ආපදා කළමනාකරණ, වැවිලි සහ නිවාස යන අමාත්‍යාංශවල අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් නිරන්තරයෙන් මේ පිළිබඳ සාකච්ඡා පවත්වමින් අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

මෙම සාකච්ඡාවට එක්වීම පිළිබඳ මෙහිදී පෞද්ගලික වැවිලි සමාගම්වල නියෝජිතයින්ට සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා අරණායක නැවත පදිංචි කිරීම්වලදී ද පෞද්ගලික වැවිලි සමාගම් සතු ඉඩම් ලබාදෙමින් දැක්වූ සහයෝගය ඇගයීමට ලක් කළේය.

අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු පෞද්ගලික වැවිලි සමාගම් නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.