MUSLIMS SRILANKAN NEWS

මුස්ලිම් වෙනුවට යෝනක ලෙස හැඳින්වීමට උපදෙස්

ජාතික මාධ්‍ය ආයතනවල ජාතින් හැඳින්වීමේදී මුස්ලිම් ලෙස භාවිතා නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තාවේ.

මුස්ලිම් යනු ආගමක් අදහන ප්‍රජාවක් බැවින් එය ජන වර්ගයක් ලෙස වැරදි අර්ථකතනයක් ජනමාධ්‍ය මගින් දක්වන බැවින් සර්වාගමික වැඩපිළිවෙලෙහි මුස්ලිම් සංවිදාන ඉල්ලා සිටි ඉල්ලීමකට ඉක්මන් ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජාව යෝනක (ලංකා මරක්කල) හා මැලේ ලෙස ජනවර්ග දෙකක් පවතින බැවින් සිවිල් මුස්ලිම් සංවිධාන ජනාධිපතිවරයා වෙත යොමු කළ යෝජනා හා ඉල්ලීම් වලින් දෙකක් සෘජුවම ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කළ යුතු බවට හැඳිනගෙන ඇත.

ජාතික මාධ්‍ය ආයතනවල ජාතීන් හැඳින්වීමේදී යෝනක හෙවත් (ලංකා මරක්කල හෝ මුවර් ) ජාතින් යටතේම මැලේ ජාතීන් ඇතුළත් කිරීම නිසා අවසන් ජනසංඛ්‍යා ලේඛන නිවැරදි නොවන බවට ලැබූ තොරතුරු මත මින් ඉදිරියට මුස්ලිම් ජාතින් ලෙස නොව යෝනක හා මැලේ යනුවෙන් වෙන්ව ඔවුන් හැඳින්වීම සඳහා සියලුම මාධ්‍ය ආයතන දැනුවත් කරනු ඇත.

ඉස්ලාම් ආගම අදහන සිංහල සහ දෙමල ප්‍රජාව සංගණනයේදී මුස්ලිම් ජාතින් යටතට ගැනීමේදී ව්‍යාකුල තත්වයක් ඇති වී ඇති බැවින් මින් ඉදිරියට ජාතින් හැදින්වීමේදී සිංහල,දෙමල,යෝනක,මැලේ හා බර්ගර් ලෙස නිවැරදි වියයුතු බවත්, ආගමික වශයෙන් බෞද්ධ,හින්දු,ඉස්ලාම්,කතෝලික,ක්‍රිස්තියානි ලෙස නිවැරදි විය යුතු බවත් සිවිල් සහ සර්ව ආගමික සංවිධානවල නායකයන් පවසා සිටියහ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඒ අනුව කටයුතු කරන්නැයි ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ජනාධිපති අතිරේක ලේකම් (අභ්‍යන්තර පාලන) රෝහණ කීර්ති දිසානායක යන මහත්වරුන්ගේ අස්සනින් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාට මේ බව දැනුම් දී තිබේ.