රටේ ඒකීයභාවය හා බෞද්ධාගම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පැවරී තිබෙන වගකීම් කිසි ලෙසකින්වත් පැහැර නොහරින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.
ජනාධිපතිතුමා බව අවධාරණය කළේ නැගෙනහිර පළාත හා තමන්කඩුව එගොඩපත්තුව යන දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද පූජ්‍ය මකුරුප්පේ පඤ්ඤාසේකර නායක ස්වාමින් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ (10) දෙහිඅත්තකණ්ඩිය මහවැලි ශාලිකා ශාලාවේ පැවති උත්සවය අමතමිනි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ තවමත් දළ කෙටුම්පතක් හෝ සකසා නොමැති අතර, එවැන්නක් සකස් කරන්නේනම් එය පාර්ලිමේන්තුවට සහ රටට ඉදිරිපත් කර සියලු යෝජනා මෙන්ම චෝදනා ද සැලකිල්ලට ගනිමින් අදාළ සංශෝධන සහිතව එම දළ කෙටුම්පත සැකසීමට බලාපොරාත්තුවන බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
රටේ ඒකීයභාවය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන කරුණුවල කිසිදු වෙනසක් සිදු නොකරන අතරම 1972 ව්‍යවස්ථාවේ බෞද්ධාගම සම්බන්ධයෙන් තිබෙන ඡේදයෙහි ද කිසිදු වෙනසක් සිදු නොකරන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ රටේ ජනතාවගේ පැත්තෙන් ඇති උනන්දුව පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කර කොට්ඨාස ඡන්ද ක්‍රමයක් පිළිබඳ තිබෙන ඉල්ලීම බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ජාතික සංහිඳියාව ගොඩනැගීමේ දී සහ බලය බෙදීමේ දී, කිසිවිටෙකත් රට බෙදෙන්නේ නැති, ඒකීය රටක බලය බෙදීමේ දේශපාලන විද්‍යාත්මක ක්‍රමවේදයකට යොමු විය යුතු බවද ප්‍රකාශ කළේය.
ඇතැමුන් මහා සංවර්ධනයක් ගැන කථා කළ ද පාසල්වල ඩෙස්පුටු සහ දරුවන්ට බීමට වතුර නොමැතිනම් එම සංවර්ධයෙන් පළක් නොමැති බවත් මහා සංවර්ධනයකට පෙර රටේ මූලික අඩු පාඩු සපුරාලිය යුතුය යන්න වත්මන් රජයේ සංවර්ධන ප්‍රතිපත්තිය බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.
Add Comment