SRILANKAN NEWS

බැසිල් රාජපක්‍ෂෙග් ව්‍යාපාරික සහකරුවෙකු අත්අඩංගුවට

මහින්ද රාජපක්ෂ පුමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙකුව කටයුතුකරන අනුරුද්ධ පොල්ගම්පොල නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 75ක් මුදලක් වංචා කිරීමේ චෝදනා මත අද (15) අළුයම මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු කළු ගල් වැඩපොළක් පවත්වාගෙන යාමට යැයි පවසා එක් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 35ක් ලබාගෙන එම මුදලින් ලබාගත් යන්ත්‍ර පෙන්වා තවත් අයෙකු සමග ලක්ෂ 40ක කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කර එම දෙදෙනාටම අදාළ මුදල් වංචා කර ඇත.

ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාම පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කර ඇති මූලික විමර්ශනවලින් පසු මෙසේ ඔහු අද අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්නකරමින් පවතින බව වාර්තා වේ.

අනුරුද්ධ පොල්ගම්පොල නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මහින්ද රාපක්ෂ පාලන සමයේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සමග එක්ව උප කොන්ත්‍රාත්කරුවන්ට ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා දෙන සමාගමක් පවත්වාගෙන ගිය අතර එම සමාගම මගින් වව්නියාව ප්‍රදේශයේ මාර්ග ඉදිකිරීම් හා අළුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා උප කොන්ත්‍රාත්කරුවන්ට කොන්ත්‍රාත් ලබා දී එම කොන්ත්‍රාත්කරුවන්ගේ මුදල් ගෙවීමේදී අගරු චෙක්පත් ලබාදීමේ චෝදනාවටද ලක්ව මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

ඔහු පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙසද ඉදිරිපත් වූ අතර ඔහු එසේ ඉදිරිපත් වී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීය. පසුව පැවති මහ මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද තරඟ කරන ලදී.

එමෙන්ම ජී.එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේද මොහු ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකි.

– ලංකා ටෘෘත් –