SRILANKAN NEWS

සුවිස් කුමාර් පැන යෑමට උදව් කළ පොලිස් නිළධාරියා රක්ෂත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගනු ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ජූලි 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හෙතෙම ඊයේ (15) දිනයේ කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහි වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.

යාපනය, පුංකුඩතිව් හි පදිංචිව සිටි විද්‍යා දැරිය 2015 මැයි 13 වන දින පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන මහලිංගම් ශෂිකුමාර් හෙවෙත් සුවිස් කුමාර්ව ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට බාරදී ඇතත් කයිට්ස් පොලීසිය විසින් ඔහු නිදහස් කර තිබිණි.

මේ අනුව සැකකරුට පලායන්නට අනුබලදීම යන චෝදනාව යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අඛණ්ඩව විභාග කෙරෙන විද්‍යා ඝාතන නඩුවේ සාක්ෂි විමසීම් සිදුවන අතරතුරදීය.

ජනතාව විසින් අල්ලා දුන් සැක කරු සම්බන්ධයෙන් පොලීසිය අනුගමණය කළ ක්‍රියාපිළිවෙත නිසා ජනතා කැලඹීමක්ද හටගත් අතර පොලීසිය සමග ගැටුමක් ඇත්කර ගත්තේ යැයි එහිදී ප්‍රදේශවාසීන් බොහෝපිරිසක් පොලිස් අත්අඩංගුවටද ගන්නා ලදී.