SRILANKAN NEWS

ඉන්දියාවේ නව ජනපතිට මෛත්‍රීගෙන් සුභ පැතුම්

අතීතයේ පටන් ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාවය තවදුරටත් සවිමත් කර ගැනීම සඳහා ඉන්දියානු නව ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ශී‍්‍ර ලංකාව අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පවසයි. ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දුන් රාම් නාත් කෝවින්ද් මහතා වෙත ජනාධිපතිතුමා නිකුත් කල නිල සුබපැතුම් පණිවිඩයේ මේ බව සඳහන් කෙරේ. ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස රාම් නාත් කෝවින්ද් මහතා පත්වූ අවස්ථාවේදීම ජනාධිපතිතුමා විශේෂ ට්විටර් පණිවිඩයක් යොමු කරමින් නව ඉන්දීය ජනාධිපතිවරයා වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

අනතුරුව ජනාධිපතිතුමා ඉන්දීය නව ජනාධිපතිවරයා වෙනුවෙන් නිකුත් කල නිල සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ නව ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාගේ දැක්ම, මුහුකුරා ගිය දැනුම සහ අත්දැකීම් ඉන්දියාවේ සියලූ ජන කොටස්වල සහජීවනය, ප‍්‍රගතිය මෙන්ම සංවර්ධනය උදෙසා උපයෝගී කර ගැනීමට හැකි වනු ඇති බවයි. එමෙන්ම නව ඉන්දීය ජනාධිපතිවරයාගේ ධූර කාලය තුළ ඉන්දු – ශී‍්‍ර ලංකා සබඳතා ශක්තිමත් ප‍්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගමන් කරනු ඇති බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කරයි.