SRILANKAN NEWS

සයිටම් ප්‍රශ්ණයට වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් නිර්දේශ හතරක්

මාලබේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීම නවතා දමන්නැයි නිර්දේශ කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ අටේ පීඨාධිපතිවරුන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වෙත ලිපියක් යවා ඇත.

සයිටම් අර්බුදය නිම කිරීමට නිර්දේශ හතරක් ඉදිරිපත් කර ඇති අතර එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නම් වෛද්‍ය සිසුන් පන්ති වර්ජනය කිරීම නතර කරන බව දන්වමින් පීඨාධිපතිවරුන් මෙම ලිපිය යොමු කරනු ලැබ තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා මගින් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යවරයා වෙත යොමු කර තිඛෙන ලිපියේ පිටපත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරිවරයාට යොමු කර ඇත.

මෙරට විශ්වවිද්‍යාල අටේ පීඨාධිපතිවරුන්ගේ අත්සනින් යොමු කරන ලද ලිපියේ සඳහන් නිර්දේශ හතර මෙසේය.

1) සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීම නවතා දැමිය යුතුයි. (සිසුන් බඳවා ගැනීම ස්ථීර පදනම යටතේ නවතා දැමිය යුතුය)

2) වසර 2016ට පෙර බඳවා ගන්නා ලද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අවම සුදුසුකම් සපුරන ලද සිසුන්ට ( උසස් පෙළ විභාගයේදී සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් ) ඔවුන්ගේ පාඨමාලා අවසන් කිරීමට ඉඩ දිය යුතු අතරම ලංකා වෛද්‍ය සභාවේ අමතර පුහුණු අවශ්‍යතා සැපිරීමෙන් පසු ඔවුන්ට වෛද්‍ය ශ්‍රම බලකායට ඇතුළත් කර ගත යුතුය. එමෙන්ම ඔවුන් › ලංකා වෛද්‍ය සභාවේ බලපත්‍ර විභාගය ද සමත් විය යුතුය.

3) වසර 2016ට පෙර බඳවා ගන්නා ලද සිසුන් සඳහා පවත්වන අන්තර්කාලීන වෛද්‍ය උපාධි අධ්‍යයන වැඩසටහන සහ වෛද්‍ය උපාධිය පිරිනැමීම ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ රෙගුලාසිවලට අනුකූලව අන්තර්කාලීන ස්වාධීන අධිකාරියක් විසින් අනුමත කළ යුතුය.

4) වෛද්‍ය පනතේ 72.4 වගන්තිය ප්‍රකාරව 1 සහ 3 නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර එම අනුමැතිය ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කළ යුතුය.

මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඔස්සේ සියලූ පාර්ශ්වවලට සයිටම් අර්බුදය සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන බවත්, මෙම අර්බුදය තවදුරටත් දිග්ගැස්සීම වළක්වාලමින් අපගේ සිසුන් නැවත අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමත් සිදුවනු ඇතැයි ද එම ලිපියෙන් පීඨාධිපතිවරු සඳහන් කරති. එමෙන්ම මේ ඔස්සේ අනාගතයේදී ලංකාව තුළ ක්‍රියාත්මක වෙන සියලු වෛද්‍ය අධ්‍යාපන වැඩසහන් ඉහළම ප්‍රමිති සහ සම්මතවලට අනුව ක්‍රියාත්මක වීම සුරක්ෂිත වනු ඇතැයි ද පීඨාධිපතිවරු පෙන්වාදෙති.

මෙම නිර්දේශ අනාගතයේදී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කිරීමෙන් වෙනස්වන බව ද පීඨාධිපතිවරුන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

ලිපිය සම්බන්ධයෙන් කඩිනමින් ධනාත්මක, සැක උපද නොවන සහ නිල ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම ලිපියේ තවදුරටත් සඳහන්ව ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා, පේරාදේණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර වීරසිංහ, රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් විමලසුන්දර, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ආචාර්ය එස්. රවිරාජ්, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නිලන්ති ද සිල්වා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුරංගි යසවර්ධන, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය සත්කාර විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය ඇන්ජෙලා අරුල්ප්‍රගාසම් සහ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්දන යන මහත්ම මහත්මීන් එම ලිපියට අත්සන් තබා තිබේ.

– ලංකා ටෘෘත් –