SRILANKAN NEWS

යාපනය සරසවි සිසුන් ඝාතන සිද්ධිය : සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරයි..

යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්‍ධ සැකකරුවන් ඇප ඉල්ලා ගොනු කළ පෙත්සම යාපනය මහධිකරණය විසින් අද (8) දින ප්‍රතික්‍ෂේප කර තිබේ.

සිසුන්ගේ ඝාතනය සම්බන්‍ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්‍ධනාගාර ගතව සිටින පොලිස් නිලධාරින් පස් දෙනා ඇප ඉල්ලා ගොනු කළ පෙත්සම අද දින යාපනය මහධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා ඉදිරියේ විභාගයට ගත් අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් නඩු විභාගය පැවැත්වෙන බැවින් ඇප ලබාදිය නොහැකි බව පැවැසූ විනිසුරුවරයා, සැකකරුවන්ව ලබන 24 වනදා දක්වා යළි රක්‍ෂිත බන්‍ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

පසුගිය ඔක්තෝබර් මස 20 වැනිදා යාපනය, කොක්කුවිල්, කුලප්පිට්ටි මංසන්ධිය ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ තුන වසරේ අධ්‍යාපනය ලද යාපනය, අලවේට්ටි, කන්දරෝඩ්ඩෛයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එස්. සුලක්‍ෂන් නමැති තරුණයකු හා කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි නඩරාසා ගජන් නමැති 23 හැවිරිදි තරුණයකුට පොලිසිය කළ වෙඩි තැබීමකින් මිය ගොස් තිබුණි.

සිද්ධිය සම්බන්‍ධයෙන් යාපනය පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන බන්‍ධනාගාර ගත කෙරුණි.