SRILANKAN NEWS

ශ්‍රී ලංකාව තුළ තහවුරු වී ඇති ආගමික සංහිදියාව තුර්කි හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ශක්තිමත් වී ඇතිවා මෙන්ම වාර්ගික හා ආගමික සහජීවනය පිළිබද ආදර්ශමත් දේශයක් බවට පත්ව ඇති බව තුර්කි ජනරජයේ හිටපු අගමැති මහාචාර්ය අහමට් ඩවුටොග්ලූ (Ahmet Davutoglu) මහතා පවසයි.

දිවයිනට පැමිණ සිටින තුර්කි හිටපු අග්‍රාමාත්‍යවරයා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය මෙන්ම වාර්ගික හා ආගමික අසහනය පිරි ලෝකයේ සංහිදියාව පිළිබදව වැදගත් නූතන ආදර්ශයක් ලබාදී ඇති රටක් ලෙස තමා ශ්‍රී ලංකාව දකින බව මෙහිදී පැවසූ හිටපු තුර්කි අග්‍රාමාත්‍යවරයා ආගමික සංහිදියාවේ තෝතැන්නක් ලෙස අද ශ්‍රී ලංකාව හ`දුන්වාදිය හැකි බව ද සදහන් කළේය.

තමා ඊයේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර නැරඹූ බවත්, අද උදෑසන පිටකොටුවේදී හින්දු බැතිමතුන් විසින් පවත්වනු ලැබූ වර්ණවත් වේල් පෙරහැරක් ද දැක බලා ගත් බවත් පැවසූ තුර්කි හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම ආගමික සංහි`දියාව පිළිබද තමා දැඩි සතුටට පත්වන බව ද කියා සිටියේය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ නූතන සාර්ථක විදේශ පිළිවෙත ද හිටපු තුර්කි අග්‍රාමාත්‍යවරයාගේ පැහැදීමට ලක්විය.

තුර්කි රජය ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබද මෙහිදී සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපතිතුමා දෙරට අතර සහයෝගීතාවය ආයෝජන, වෙළෙද, කෘෂිකර්ම සහ සංචාරක, ගුවන්සේවා යන ක්ෂේත්‍රවලින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව කියා සිටියේය.

ආසියාව හා යුරෝපය අතර කේන්ද්‍රය වන තුර්කිය නාවුක කේන්ද්‍රයක් බවට පත්වීමට අමතරව දැන් ගුවන් ප්‍රවාහන කේන්ද්‍රයක් බවට ද පත්ව ඇති බව පැවසු හිටපු අග්‍රාමාත්‍යවරයා භූගෝලීය වශයෙන් ජාත්‍යන්තර නාවුක මාර්ගයට සමිපව පිහිටි ශ්‍රී ලංකාවට නාවුක කේන්ද්‍රයක් බවට පත්වීමටත්, කලාපය තුළ ගුවන් ප්‍රවාහන කේන්ද්‍රයක් බවට පත්වීමටත් පහසුවනු ඇතැයි ද සදහන් කළේය.

හිටපු කථානායක අල්හාජ් බාකීර් මාකාර් මහතාගේ විශේෂ ගුණානුස්මරණ දේශනය පැවැත්වීම වෙනුවෙන් තුර්කි හිටපු අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණි අතර ඒ පිළිබදව සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපතිතුමා බාකීර් මාකාර් මහතා සෑම පක්ෂයකම ගෞරවයට පාත්‍ර වූ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව ද සදහන් කළේය.