SRILANKAN NEWS

ප්‍රචණ්ඩ ක්‍රියාවලට පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින් සම්බන්ධ නෑ – මේජර් ජෙනරාල් ජානක රත්නායක

යාපනයේ පසුගිය දිනවල සිදු වූ කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පුනරුත්ථාපනය වූ කිසිදු එල්ටීටීඊ සාමාජිකයෙකු සම්බන්ධ වී නොමැති බවට තමන් විශ්වාසයෙන් හා වගකීමෙන් පවසන බවට පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් ජානක රත්නායක මහතා පැවසීය.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා මේ බව කියා සිටියේ අද (15) වවුනියාව පූන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේදී පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා කුකුල් පැටවුන් බෙදා දීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ,

“අපි මේ වෙනකොට පුනරුත්ථාපනය කරපු 12190න් කිසිම කෙනෙක් යාපනයේ හෝ උතුරු නැගෙනහිර පළාත්වල ප්‍රචණ්ඩකාරි ක්‍රියාවකට හෝ නීතිවිරෝධී වගේම ආණ්ඩු විරෝධි ක්‍රියාවකට සම්බන්ධ වෙලා නැහැ කියලා අපිට වාර්තා අනුවම පෙන්වා දෙන්න පුළුවන්. එකම එක අවස්ථාවක පමණක් දකුණු ප්‍රදේශයේ පමණක් එක් සාමාජිකයෙකු පාතාලයේ සිදුවීමකට සම්බන්ධ වෙලා තියනවා. එච්චරයි.

ඒ වගෙම තමයි අපිට බැහැ තවත් අයෙකුගේ මනස සම්පූර්ණයෙන්ම හදන්න. දැන් අපි 12190ක් පුනරුත්ථාපනය කළාට සියයය 100ක්ම පුනරුත්ථාපනය වුණා කියල කියන්න බැහැ. ඒක අපි පිළිගත යුතුයි. නමුත්, මම දන්න විදිහට මේ පිරිසෙන් කිසිම කෙනෙක් මේ වනතුරු නීති විරෝධී දේකට සහභාගී වෙලා නැහැ කියල විශ්වාසයෙන් කියන්නේ.

මේ වගේ සිදුවීම් දකුණෙත් වෙනවා. එහෙම එකේ නැවත එල්ටීටීඊය හිස ඔසවනවා කියලා බොරු ප්‍රචාරය කරනවානම් ඒ අයගේ වෙනම න්‍යායක්, අරමුණක් තියෙන්න ඕන. අපි හිතන්න ඕන මිනිස්සුන්ගේ මනසට බොරු ප්‍රචාර නොදමා නැවත රට ආපස්සට නොයන්න කටයුතු කරන්න ඕන. තවත් පුනරුත්ථාපනය නොවූ පිරිස් අපේ සමාජයේ ඉන්න පුළුවන්. නමුත් දැන් යුද්දෙ ඉවර වෙලා වසර 08ක් වෙනවා. මේ අය මේ සමාජයේ ඉඳලා නිකම්ම පුනරුත්ථාපනය වෙලා ඉන්නේ. මේ සංවර්ධනය දැකලා, මිනිසුන්ගේ වෙනස්වීම් දැකලා, ඒ අයට ප්‍රචණ්ඩකාරී නොවී ඉබේම යහපත් වෙන්න පුළුවන් කියලයි මම හිතන්නේ.” යනුවෙනි.

මෙම අවස්ථාවට තවද පශ්චාත් පුනරුත්ථාපන ප්‍රතිශ්ඨාධාර ශාඛාවේ අධ්‍යක්ෂක කර්නල් අසාද් ඉසදීන් මහතා, වවුනියාව පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයේ අධ්‍යක්ෂක කර්නල් එම්.ඒ.ආර්.හැමිඩෝන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.