SRILANKAN NEWS

කිලිනොච්චියේ යුද්දය හේතුවෙන් වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීමට පියවර..

යුද්දය හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීම සම්බන්‍ධයෙන් කිලිනොච්චිය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයා සොයා බලා තිබේ.

පසුගිය 2009 වසරේදී තාවකාලිකව වසා දැමූ කිලිනොච්චිය පූනගරි, පල්ලවරායන් හින්දු දෙමළ පාසල, තම්බිරායි අ.ත.ක. පාසල, කෞතාරිමුනයි දෙමළ පාසල, පොන්නාවෙලි සෛවප්‍රකාස විද්‍යාලය, අත්තායි මුත්තුකුමාරිසාමි විද්‍යාලය, සෙට්යාක්කුරිච්චි දෙමළ පාසල යන පාසල් නැවැත ආරම්භ කිරීම සම්බන්‍ධයෙන් අධ්‍යහනය කර තිබේ.

අදාළ පාසල් යළි ආරම්භ කිරීම සම්බන්‍ධයෙන් කිලිනොච්චිය කලාප භාර අධ්‍යාපන අධ්‍යක්‍ෂක තිරුඥානම් ජෝන් කුයින්රස් මහතා ඇතුළු පිරිස ඉකුත් ප්‍රදේශවලට ගොස් එහි ජනතාව සමඟ ද සාකච්ඡා කර තිබේ.

එහිදී පල්ලවරායන් හින්දු දෙමළ විද්‍යාලය සහ තම්බිරායි දෙමළ පාසල කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවත්, අනෙකුත් පාසල් හතර පිහිටා ඇති ප්‍රදේශවල ජන සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පවතින හෙයින් දැනට එම පාසල් ආරම්භ කිරීමට නොහැකි තත්වයක් පවතින බව අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයා පවසා තිබේ.

මෙම ප්‍රදේශවල සිටින සිසුන් දැනට යාබද පිහිටි වෙනත් පාසල්වල ඉගෙනුම ලබන බවත්, නැවත ආරම්භ කිරීමට යෝජිත පාසල්වලද පළමු ශ්‍රේණියේ සිට ක්‍රමයෙන් පවත්වාගෙන යෑම හැර වෙනත් විකල්පයක් නැති අතර, ඒ සඳහා ද යටිතල පහසුකම් ලබා ගැනීමේ අර්බුදකාරි තත්වයක්ද පවතින බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.