SRILANKAN NEWS

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්‌. සේනානායක, 132 වැනි ජන්ම දිනය අදයි..

ds-senanayaka2 ඩී.එස්‌. සේනානායකනිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය දිවංගත මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මැතිඳුන්ගේ 132 වැනි ජන්ම දිනය අදට (20) යෙදී ඇත.

මීගමුව බෝතලේ ප්‍රදේශයේ දී 1884 වසරේ අද වැනි දිනක හෙතෙම උපත ලැබූ ඒ මහතා, ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ 1930 රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා පැවති මහා මැතිවරණයේ දී මිනුවන්ගොඩ ආසනය නියෝජනය කළ ඩී.එස්. සේනානායක මහතා කෘෂිකර්ම හා ඉඩම් කාරක සභාවේ සභාපති පදවියට පත් විය.

පෞරාණික ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතියේ හා ශ්‍රී සමෘද්ධියේ නෂ්ටාවශේෂ බවට පත් ව තිබූ පැරණි කෘෂිකාර්මික ප්‍රදේශයන්හි සංචාරය කළ එතුමා වල් බිහි ව කැලෑ බවට පත් ව තිබූ එම ප්‍රදේශ යළිත් සරුසාර ගොවිබිම් බවට පත් කර ගැනීමට තිර අදිටනක් ඇති කර ගත්තේ ය.

1932 දී එතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉඩම් සංවර්ධන පනත අනුව සියලු ම කැලෑ ඉඩම්වල අයිතිය රජය වෙත පවරා ගන්නා ලදී. ඉන්පසුව ඒ ඒ ප්‍රදේශවල ප්‍රවේණිගතව ජීවත් වු අයට ඉඩම් කැබලිකර බෙදා දීම සිදුවිය. ඉඩම් නොමැති දුප්පත් ජනතාවට ඉඩම් නොමිලේ ලබා දෙමින් ඉඩම් පිළිබඳ ව මේ රටේ ප්‍රථම වතාවට පෙරළියක් ඇති කරන ලද්දේ ඩී.එස්. සේනානායක මහතා නිසි බව පිළිගත යුතු ය.

ශත වර්ෂ ගණනාවකට පසු මේ රටේ වහල්භාවය නිමා කරමින් 1948 පෙබරවාරි 4 දින මේ ශ්‍රී ලංකා දීපයට නිදහස උදාකර දෙමින් අපගේ අභිමානවත් ජාතික කොඩිය ප්‍රථම වරට එසවීමේ භාග්‍ය උදා කරගත් අතර, මෙරටට අහිමිව තිබු ක්ෂේත්‍ර රැසක් යළි නගා සිටුවීම සඳහා නිදහසින් පසු සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ ඒ මහතා 1952 වසරේ මාර්තු මස 22 අභාවප්‍රාප්ත විය.

– Global Tamil News : Sinhala