SRILANKAN NEWS

අර්ජුනට එරෙහිව තිලංග දැමූ නඩුව අධිකරණයෙන් ඉවතට..

2003 වසරේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමන්ට අපහාස කළ බව පවසමින් රුපියල් මිලියන 500 ක වන්දි ඉල්ලා. නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, අර්ජුන රණතුංග අමාත්‍යවරයාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් නුගේගොඩ දිසා අධිකරණය විසින් නිෂ්ප්‍රභ කළා.

මෙම අපහාස නඩුව ගොනු කළේ 2005 වසරේ මාර්තු මස 03 වැනිදාය. ඒ 2003 වසරේ මැයි මස 21 වැනි දින සිය නිවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා අර්ජුන රණතුංග තමන්ට අපහාස කළ බවට චෝදනා නඟමිනි.

තිංලග සුමතිපාල දූෂිත චංචා පුද්ගලයකු බවත්ල එවැනි දූෂිත වංචා සහගත පුද්ගලයකු සමඟ මෙරටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට තමන් එක් නොවන බවත්ල තිලංග සුමතිපාලට විරුද්ධව වංචා සහගත දූෂණ චෝදනා තිබෙන බවත්, ඒවායින් සමහරක් ඔප්පු වී ඇති බවත්, තව චෝදනා යට ගසා තිබෙන බවත්, තිලංග සුමතිපාලට විධායක බලතල තිබෙන්නේ චීන අවන්හලක බවත්, ටෙලිකොම් සභාපතිකමට තිලංග සුමතිපාල සුදුසු පුද්ගලයකු නොවන බවත් යනාදි අපහාස කියමන් සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් අර්ජුන රණතුංගගෙන් අය කර දෙන ලෙසට තිලංග සුමතිපාල ස්වකීය පැමිණිල්ලේ සඳහන් කර තිබුණා.

නඩුවේදී අර්ජුන රණතුංග ප්‍රකාශ කර සිටියේ තිලංග සුමතිපාල බුකී ව්‍යාපාරයට සම්බන්ධ අයකු බවත් පෝය දිනකදී පවා අධිකරණයෙන් ඇප ලබා ගත් පුද්ගලයකු බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව ඉදිරියේදී සූදු ඔට්ටු ඇල්ලිමේ ව්‍යාපාරයට සම්බන්ධ අයකු ලෙසට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පරීක්ෂණ මෙහෙයවා ඇති බවත්ය. එබැනින් එබඳු දූෂිත පුද්ගලයකුට ඇමතිවරයා විසින් ප්‍රකාශ කළා යන ප්‍රකාශවලින් අපහාසයක් සිදු නොවී ඇතිය යන කරුණු සලකා බැලූ දිසා අධිකරණ විනිසුරුතුමා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එම නඩුව ඉවත ලා තිබෙනවා.