SRILANKAN NEWS

උතුරේ සියයට 76ක ඉඩම් නිදහස් කර අවසන් – යුද හමුදාපති

2009 වසරේ යුද්දෙ අවසන්වීමෙන් පසුව යුද හමුදාව සතුව තිබූ ඉඩම්වලින් 76%ක භූමි ප්‍රමාණයක් මේ වන විට මුල් අයිතිකරුවන්ට සම්පූර්ණයෙන්ම නිදහස් කොට අවසන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (25) වව්නියාවේදී පැවසීය.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ දෙහමල් ගොඩනැගිල්ල හා සෙසු නිලයින්ගේ භෝජනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් යුද හමුදාපතිවරයා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

‘ මේ ඉඩම් ගැටලු ගැන මේ දවස්වල වැඩි පුරම කතාවන දෙයක්. 2009 වසරේ සිට මේ දක්වා අපි 76% ක භූමි ප්‍රමාණයක් නිදහස් කරල අවසන්. පෞද්ගලික හිමිකරුවන්ට වගේම රජයේ ආයතනවලටත් ඒ වගේම තමයි. මේ වසරේත් අපි තවත් අක්කර 500කට අධික ප්‍රමාණයක් පෞද්ගලික අයිතිකරුවන් වෙනුවෙන් ලබාදෙන්න පියවර අරන් තියනවා‍ ඒ වගේම තමයි අපි ඉඩම් ලබා දී කඳවුරු ඉවත් කරගැනීමෙන් පසුව නැවත කඳවුරු සුදුසු ස්ථානයන්හි ස්ථාපිත කිරීමට අවශ්‍ය මුදලුත් අපිට රජය විසින් ලබා දී තිබෙනවා.

මේ ඉඩම් නිදහස් කිරීමේදී ගැටලුවකුත් තියෙනවා. යුද හමුදාව මේ ඉඩම් නිදහස් කිරීමේදී පෞද්ගලික හිමිකරුවන්ට සෘජුවම දෙන්නෙ නැහැ. අපි ඉඩම් භාරදෙන්නේ ප්‍රදේශයේ සිටින දිසාපතිවරයාට. ඔයු තමයි ලේඛනගත කර තිබෙන්නේ හිමිකරුවන් කවුද කියල. මෙතනදී සමහරෙක් පිටරට ජීවත් වෙනවා. සමහරෙකුට මේ ඉඩම්වල අයිතිය තහවුරු කරන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා අප විසින් භාර දුන්නු ඉඩම් අයිතිකරුවන් වෙත භාරදීම මන්දගාමී ස්වරූපයකුත් තියෙනවා. නමුත් දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් උපරිම් උත්සායහක් දරනවා ඒ වෙනුවෙන්.ʼ යැයි ද පවසා සිටියේය.