ලෝක තැපැල් දිනය ජනපති ප්‍රධානත්වයෙන්

ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්විණි.

ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය නිමිත්තෙන් නිකුත් කරන ලද නව මුද්දරය සහ මුල් දින කවරය මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු අතර E-commerce වෙබ් අඩවිය අන්තර්ජාලයට  මුදා හැරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය නිමිත්තෙන් නිකුත් කරන ලද සමරු කලාපය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

තැපැල් කාර්යාල හා සේවකයින් ඇගයීමට ලක් කරමින් කුසලාන හා සහතික පත් ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

තැපැල් දෙපාර්තමේන්තුවේ සිටින අටදහස් පන්සීයක් වන තැපැල්කරුවන්ට නව පාපැදි ලබාදීම සහ තැපැල් ප්‍රවාහන සේවා සවිමත් කිරීම සඳහා රුපියල් මිලියන 325 ක වියදමින් වෑන් රථ හා කුඩා කැබ්රථ තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබාදීම ද ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.

රුපියල් මිලියන 307 ක් වියදමින් ඉදිකෙරන පොළොන්නරුව තැපැල් සංකීර්ණය සදහා මුල්ගල් තැබීම  ද මේ හා සමගාමීව අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

උතුරු, උතුරුමැද හා නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පුරාණ ඉසිපතනාරාමාධිපති පූජ්‍ය උඩගම ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ ද, තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්, පේෂල ජයරත්න, සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද, තැපැල්පති රෝහණ අබේරත්න මහතා ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top