ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයේ උතුරු පළාත් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

“එක්වෙමු – නැගිටිමු – අටුකොටු පුරවමු” ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයේ උතුරු පළාත් වැඩසටහන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද(14) ආරම්භ වුණි.

අද උදෑසන පුත්තූර්, නිලාවරෙයි ප‍්‍රදේශයේදී පැවති මෙම වැඩසටහන සංකේතවත් කරමින් පලතුරු පැළ සහ ආහාර භෝග පැළ ගොවීන් වෙත බෙදා දීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණි.

මේ අතර භෝග වර්ග රෝපණය කරන ආකාරය ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වූ අතර “සිතමු කාන්තා” ගොවි සංවිධාන වැඩපිළිවෙළේ කාන්තාවන් 4000 ක් වෙත සංකේතාත්මකව බීජ වර්ග ලබාදීම ද, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යාපනය දිස්ත‍්‍රික්කයේ වගා ළිං සංවර්ධනය කිරීම වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 20 ක මුදල සංකේතවත් කරමින් චෙක්පතක් ලබා දීමද ජනාධිපතිතුමා අතින් සිඳු කෙරුණි.

කෘෂිකර්මාන්තයට අඩු වියදම් ක‍්‍රමයක් ලෙස සෝලා පවර් හඳුන්වාදීම ද මෙහිදී සිදුවූ අතර කෙසෙල් කඳන් කපන නවීන යන්ත‍්‍රයක් ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා. ජනාධිපතිතුමා මෙම අවස්ථාවට එක් වූ ගොවි ජනතාව සමග ද සුහද කතාබහක නිරත විය.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අංගජන් රාමනාදන්, උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය කන්දයියා සිවනේසන්, උතුරු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ශිවකුමාර්, යාපනය දිසාපති එන්. වේදනායගම් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, රාජ්‍ය නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top