නිල කාලය අවසන්වූ පළාත් සභා පිළිබඳව ජනාධිපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

නිල කාලය අවසන් වූ පළාත් සභාවල කටයුතු විමසා බැලෙන සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්නිල කාලය අවසන් වුව ද පළාත් සභා මගින් කෙරෙන මහජන සේවාවන් සහ දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට උපදෙස් දෙයි.

නිල කාලය අවසන් වූ පළාත් සභාවල ඉදිරි කටයුතු විමසා බැලෙන සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.

මේ වන විට නිල කාලය අවසන් වූ උතුරුමැද, සබරගමු සහ නැගෙනහිර යන පළාත්වල පළාත් සභා කටයුතු සිදුකිරීමේදී මතුව තිබෙන ගැටලු පිළිබඳ ව මෙහිදී ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් කරුණු විමසීය.

එමෙන්ම පළාත් සභා වෙත පැවරී ඇති කටයුතු වෙනත් ආයතනවලට පාලනය කිරීමට ඉඩ නොතැබීමට වගබලා ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා නිලධාරින්ට පෙන්වා දුන් අතර පළාත් සභාවලට වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන ඵලදායී ලෙස වැයකළ යුතු ආකාරය පිළිබඳ ව ද උපදෙස් ලබා දෙන ලදී.

අදාළ පළාත් තුළ දේශීය සහ විදේශීය අරමුදල් යොදවමින් සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි ද විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, එම ව්‍යාපෘති කාර්යක්ෂම ඉදිරියට පවත්වාගෙන යන ලෙසත් උපදෙස් දුන් ජනාධිපතිතුමා එම සියලු කටයුතු පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත සිදුකරන ලෙසට ද උපදෙස් දෙනු ලැබීය.

මේ අවස්ථාවට අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ද පළාත් ආණ්ඩුකාරවරුන් ද, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top