නීති විරෝධීව මෙරට මුහුදු සීමාවේ දී මසුන් ඇල්ලීමේ නිරතවූ ඉන්දීය ධිවරයින් 129 දෙනෙක් මෙම වසරේ දී අත් අඩංගුවට ගනු ලැබීය. ඉන් 109 දෙනෙක් පසුගියදා නිදහස් කර ඉන්දීය නාවික හමුදාවට හා වෙරළාරක්ෂක බලකායට බාර දෙනු ලැබීය. ඉතිරි ධීවරයින් 20 දෙනාත් නිදහස් කිරීම සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අනුමැතිය ලබා දී තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට ඉන්දීය මුහුදු සීමාවේ දී අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙක් ද ඉන්දීය රජය විසින් නිදහස් කර ඇති අතර තවත් 06 දෙනෙක් ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවෙති. ඔවුන්ගෙන් 04 දෙනෙක් ධීවරයින් නොවන අතර මත්ද්‍රව‍්‍ය ජාවාරමේ නියුතු පුද්ගලයන්ය.
මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබෙන නීති විරෝධී ධීවර කටයුතු කළ ඉන්දීය ධීවර යාත්‍රා ගණන 172කි. 2015 දී අත් අඩංගුවට ගන්නා ලද ඉන්දීය ධීවර යාත්‍රා 42ක් 2017 වසරේ දී නිදහස් කළ අතර ඉන් 30ක් මේ වනවිට ඉන්දියාවට ගෙන ගොස් තිබේ. තවත් 12ක් අබලන් තත්ත්වයේ පවතින නිසා ඒවා ගෙනයාමට නොහැකිව ධීවර වරායන්හි නවතා තිබේ.