වේලනයි ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ඊළ මක්කල් ප්‍රජාතාන්ත්‍රික පක්‍ෂයේ මන්ත්‍රී නමසිවායම් කරුණාකරමූර්ති මහතා තේරී පත්ව තිබේ.
වේලනයි ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරා පත්කිරීම පළාත් පාලන කොමසාරිස් පට්‍රික් නිරන්චන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) දින පැවැත්වුණි. එහිදී සභාපති ධූරය සඳහා දෙ.ජා.ස. නාවලන්ව ද, ඊ.පී.ඩී.පී. පක්‍ෂය කරුණාකරමූර්තිව ද යෝජනා කළේය. අනතුරුව පැවැති ඡන්ද විමසීමේ දී මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් යුත් වේලනයි ප්‍රාදේශීය සභාවේ දෙ.ජා.ස. මන්ත්‍රීවරුන් අට දෙනෙක් සහ එ.ජා.ප. එක් මන්ත්‍රීවරයෙකු ඇතුළු නව දෙනෙකු නාවලන්ට ජන්ද ප්‍රකාශ කර තිබුණි.
කරුණාකරමූර්තිට ඊ.පී.ඩී.පී. පක්‍ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනෙක්ද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සහ දෙමළ විමුක්ති සන්ධානයේ එක් මන්ත්‍රීවරයෙකු ඇතුළු නව දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබුණි. දෙමළ ජාතික ජනතා පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියහ.
සභාපති ධූරයට ඉදිරිපත් වූ දෙදෙනාම එක සමාන ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගැනීම හේතුවෙන් කුසපත් ඇද සභාපතිවරයා කවුරුන්දැයි තේරීමට සිදු විය. එහිදී කරුණාකරමූර්ති ජයග්‍රහණය කර සභාපති වරයා ලෙස තේරී පත් විය.