ඉඩම් අක්කර 530ක් නිදහස් කිරීමට හමුදාව රුපියල් මිලියන 880ක් ඉල්ලයි

උතුරේ හමුදාව යටතේ තිබෙන අක්කර 530ක ඉඩම් නිදහස් කිරීම සඳහා හමුදාව විසින් රුපියල් මිලියන 880ක මුදලක් ඉල්ලා ඇති අතර, එම මුදල ලබාදී ඉඩම් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි මේ වන විට තම අමාත්‍යංශය විසින් සිඳු කරන බව නැවැත පදිංචි කිරීමේ අමාත්‍යංශයෙහි ලේකම් පොන්නයියා සුරේෂ් මහතා පවසයි.

යාපනය, තෙල්ලිපලයි ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේදී නැවැත පදිංචි වූ ධීවරයන්ට සහන ලබාදීමේ කටයුතු අද (5) දින පැවැත්වුණි. එම අවස්ථාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව පවසා සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, උතුර නැගෙනහිර පළාත්වල ලක්‍ෂ ගණනාවක ජනතාව පීඩාවට පත්වී සිටිනවා. ඔවුන්ගේ ජීවනෝපාය නඟා සිටුවිය යුතුයි. යුද්දය හේතුවෙන් ඉන්දියාවට ගිය ජනතාව අතර 60 දාහකට ආසන්න පිරිසක් නැවැත මෙහි පදිංචිවීමට ලියාපදිංචි කර තිබෙනවා. මෙලෙස පැමිණෙන ජනතාවට ද නිවාස ඉදිකරදීමට සිඳුව තිබෙනවා.

එම ජනතාවට සහ මෙහි සිටින ජනතාව ඇතුළුව නිවාස එක් ලක්‍ෂ 70 දාහක් ඉදිකරදීමට සිඳුව තිබෙනවා. ඒ අනුව පසුගිය 2016 වසරේදී රුපියල් බිලියන 14ක මුදලක් වෙන්කර තිබූ අතර එයින් සියයට 60ක මුදලකින් නිවාස 12 දහස් 700ක් ඉදිකර තිබෙනවා.

ඒ වගේම 2017 වසරේදී බිලියන 9ක මුදලක් වෙන්කර තිබූ අතර එයින් නිවාස 5 දාහක් පමණක් ඉදිකළ අතර ඉතුරු මුදලින් අනෙකුත් යටිතල පහසුකම් සැපයීමට යොදාගෙන තිබුණි. දැන් රුපියල් මිලියන 3 දාහක මුදලක් නිවාස අධිකාරිය විසින් වෙන්කර දී තිබෙනවා.

ඉඩම් නොමැති ජනතාවට ඉඩම් මිලදී ගැනීමට සිඳුව ඇති අතර, ඒ සඳහා රජයට රුපියල් මිලියන 680ක මුදලක් අවශ්‍යවී තිබෙනවා. තවද හමුදාව යටතේ තිබෙන ඉඩම් අක්කර 530ක් නිදහස් කිරීමට හමුදාව විසින් රුපියල් මිලියන 880ක මුදලක් ඉල්ලා තිබෙනවා. මේ සම්බන්‍ධයෙන් අපි මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර තිබෙන අතර, එම මුදල ලබාගෙන එම ඉඩම යළි ලබා ගැනීම සඳහා අවශ්‍ය අමාත්‍යංශ පත්‍ර සකසමින් සිටනාව යැයි හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top