2016 වසරේදී ලංකාවේ දූෂණ වංචා ඉහළට

දූෂණ සංජානන දර්ශකයේ 2016 වසරේදී ශ්‍රී ලංකාව 95 වැනි ස්ථානයට පත්වී ඇති බව ට්‍රාන්ස් පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඉදිරිපත් කළ අලුත්ම වාර්තා පෙන්වා දෙයි.

2015 වසරෙහි එම දර්ශකයෙහි ශ්‍රී ලංකාව 83වන ස්තනායෙහි පසු වූ අතර එය ගිය වසරට වඩා ස්ථාන 12කින් පහළට වැටීමකි.

ට්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර පවසනුයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ දූෂණයට එරෙහිව අලුතින් නීති සම්මත කර ගත්තද එම නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සහ ඇතැම් රාජ්‍ය ආයතනවලට අනවශ්‍ය බලය ලබාදෙන නීති සම්මත කිරීම හේතුවෙන් සැමදා ශ්‍රී ලංකාව දර්ශකයේ පහළ ස්ථාන හිමිකර ගන්නා බවයි.

දූෂණයට එරෙහිව සම්මත කරන නව නීති නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ නම් ශ්‍රී ලංකාවට ඉහළ ස්ථානයකට ළඟාවිය හැකි බවද ඔහු ප්‍රකාශ කරයි.

සෑම වසරකම රටවල් 176ක විශේෂඥයන්ගේ තොරතුරු මත රාජ්‍ය අංශයේ සිදුවන දූෂණයන් පිළිබඳව කරන ලද විමර්ශනයන්ගෙන් දූෂණ අඩුවීම සහ වැඩිවීම මත මෙම දර්ශකයේ ස්ථාන සඳහා රාජ්‍යයන් තෝරා ගනු ලබයි.

දූෂණ සංජානන දර්ශකයේ 50 වැනි ස්ථානයට පහළින් සිටින සියලු රාජ්‍යයන්හි රාජ්‍ය දූෂණය ඉතා ඉහළ අගයක් ගන්නා බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ නවතම දත්ත පෙන්වා දෙයි.

මෙම වසරේ ශ්‍රී ලංකාව ලකුණු 100න් ලකුණු 36ක් ලබාගෙන ඇති අතර ලකුණු 90ක් ලබා ගනිමින් ඩෙන්මාර්කය සහ නවසීලන්තය ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ. පිළිවෙළින් ලකුණු 89,88 සහ 86ක් ලබා ගනිමින් පින්ලන්තය, ස්වීඩනය සහ ස්විස්ටර්ලන්තය දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානය ලබාගෙන ඇත.

දකුණු ආසියාවේ රාජ්‍ය අංශයේ දූෂණ අඩුම රාජ්‍යය ලෙස ලකුණු 40ක් ලබා ගනිමින් ඉන්දියාව දර්ශකයේ 79 වැනි ස්ථානයට පත්ව තිබේ.

ලකුණු 36ක් ලබා මාලදිවයින ශ්‍රී ලංකාව සමඟ සමතැන් ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top