ඇෆ්ගනිස්තානයේ සිඳුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 24 ජිවිතක්‍ෂයට

මෝටර් රථයක් යොදා ගනිමින් කාබුල් අගනුවරට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට හසුව අවම වශයෙන් විසි හතර දෙනෙකුවත් මරණයට පත්ව ඇති බව ඇෆ්ගනිස්තාන බලධාරීහු පවසති.

තවත් හතළිස් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර මරණයට පත් සංඛ්‍යාව ඉහළ යා හැකි බවට බිය පළවේ.

වැඩි වශයෙන් ෂියා මුස්ලිම් භක්තිකයන් වෙසෙන අගනුවර බටහිර කලාපයේ ධාවනය වෙමින් තිබූ රජයේ සේවකයන් රැගත් බස් රථයක් ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බවත් බලධාරීහු කියා සිටියහ. තමන් විසින් ප්‍රහාරය එල්ල කරනු ලැබූ බව තාලිබාන් සංවිධානය පවසයි.

තාලිබාන් සහ අයිඑස්

කාබුල් අගනුවරට මේ වසර තුළ මාරක බෝම්බ ප්‍රහාර ගණනාවක් එල්ල වූ අතර තාලිබාන් හෝ අයිඑස් සංවිධානය විසින් එම ප්‍රහාර එල්ල කරනු ලැබූ බව වාර්තා විය.

කාර්ය බහුල වෙලාවක දී ප්‍රහාරය එල්ල වී ඇති අතර බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති ආකාරය ඡායාරූප ඔස්සේ දැක ගත හැක. රජයේ බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් සිය ප්‍රහාරයේ ඉලක්කය වූ බව තලිබාන් සංවිධානය පවසා තිබේ.

ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානි විසින් ප්‍රහාරය හෙලා දකිනු ලැබීය.

bbc.com/sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top