SRILANKAN NEWS

විගණන පනත සම්මත කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා – JVP

විගණන පනත සම්මත කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (25) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂයේ නායක අනුර දිසානායක මහතා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා, “19වන සංශෝධනය මගින් විගණන කොමිසමක් ස්ථාපිත කළා. එම කාර්ය මණ්ඩලයට මේ වනවිට මාස 20ක් ගතවෙලා තිබෙනවා. නමුත් විගණන කොමිසම ක්‍රියාත්මක වීම සඳහා වන පනත සම්මත වෙලා නැහැ. දැන් අලුත් තත්වයක් මතුවෙලා තිබෙනවා, විගණන කොමිසම විගණනයකට ලක් කිරීම. මොකද, කාර්යමණ්ඩලයක් පත්කොට ඔවුන්ට වැටුප් ගෙවා, දීමනා ගෙවා පහසුකම් සපයා තිබියදී විගණන කොමිසමෙන් කිසිදු කාර්යයක් සිදු නොවීම මුදල් නාස්ති කිරීමක්. ඒ නිසා එම ආයතනය විගණනයට ලක්කළ යුතුව තිබෙනවා. ඒ නිසා කැබිනට් එකේ ඉන්න හොරු, තක්කඩි රැලක් විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට උත්සාහ කරනවා. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි විගණන පනත සම්මත කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා.” යැයි පවසා සිටියේය.