SRILANKAN NEWS

ආණ්ඩුවට ආර්ථික කළමනාකරණයක් නොමැති වීමේ ප‍්‍රතිවිපාකය ජනතාව විඳින්නට සිඳුවෙලා – ජ.වී.පෙ.

ආණ්ඩුවට නිසි ආර්ථික ප‍්‍රතිපත්තියක්, කළමනාකරණයක් නැතිකමින් ජනතාව බරපතල ලෙස ආර්ථික පීඩනයකට ලක්වෙලා. ආණ්ඩුවට ආර්ථික කළමනාකරණයක් නොමැති වීමේ ප‍්‍රතිවිපාක විඳින්න සිදුවෙලා තිබෙන්නේ ජනතාවට බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (04) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හඳුන්නෙත්ති මහතා මේ බව පවසා තිබේ.

එහිදී වැඩිදුරටත් පවසා සිටියේ,

“ඒකපුද්ගල දරිද්‍රතා රේඛාව යනු නොමැරී ජීවත් වීම සඳහා එක් පුද්ගලයෙකුට අවශ්‍ය කැලරි ප‍්‍රමාණය ලබාගැනීමට වැය රුපියල් 4,327ක මුදලයි. දරිද්‍රතා රේඛාව ගණනය කරන්නේ අධ්‍යාපනය, විනෝදාශ්වාදය, ප‍්‍රවාහනය, සෞඛ්‍ය සඳහා වියදම සලකන්නේ නැතිවයි. එස්.බී. ඇමතිවරයා කියන විදිහට ජනතාව ජීවත් විය යුත්තේ එම පහසුකම් නොමැතිවද? ආණ්ඩුව කියන්නේ නොමැරී ඉන්න පමණක් අවශ්‍ය කැලරි ප‍්‍රමාණය ගනිල්ලා කියලද? එදා බන්දුල ගුණවර්ධන කිව්වා රුපියල් 2,500න් එක් අයෙකුට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. අද එස්.බී. කියනවා රුපියල් 4,327කින් ජීවත් වෙන්න පුළුවන් කියලා. අධ්‍යාපනය ලබන දරුවන් ඉන්න පවුලක වැඩිහිටයන් රැකබලා ගතයුතු පවුලක අවම වශයෙන් වියදම රුපියල් 60,000-70,000 අතර වෙනවා. එසේ නොමැතිව පවුලක් නඩත්තු කරන්න බැහැ.”