SRILANKAN NEWS

ආණ්ඩුව ජීවන වියදම පිළිබඳව ඇත්ත සඟවනවා – වසන්ත සමරසිංහ

වත්මන් ආණ්ඩුව ජීවන වියදම පිළිබඳව ඇත්ත සඟවන බව ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (04) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් පවසා සිටියේ, “වැටුප් ලබන, වැඩකරන ජනතාවට බඩුමිල වැඩිවීම දරාගන්න පුළුවන්කමක් නැහැ. මොකද වරින් වර බඩුමිල වැඩිවුණාට ඔවුන්ගේ වැටුප වැඩිවෙන්නේ නැති නිසා. ආණ්ඩුව වාර ගණනාවකදී බඩුමිල වැඩිකරන විට තමන්ගේ වැටුප කළමනාකරණය කර ගැනීමට වැඩ කරන ජනතාවට හැකියාවක් නැහැ. ආණ්ඩුව ඉදිරියේ ඡන්ද ඉලක්ක කොට බඩුමල්ලක් දෙනවා කියලා ප‍්‍රකාශ නිකුත් කළද ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ. මේ ආණ්ඩුව බලයට ආපු මුල් අවස්ථාවේදී වැඩ කරන ජනතාව ජීවන වියදමට එරෙහිව අරගලයක් කළා. ඒ අනුව වැඩ කරන ජනතාවට ජීවන අංක දීමනාවක් ලැබුණා. නමුත් ආණ්ඩුව වංචාවක් කළා. 2014 දෙසැම්බර් මාසයේ හතර දෙනෙකුගෙන් යුත් පවුලක ජීවන වියදම රුපියල් 52,135ක් වූ අතර වර්තමාන ආණ්ඩුව හර්ෂද සිල්වා ඇමතිවරයා ඇතුළු කමිටුවක් මගින් ජීවන වියදම රුපියල් 32,146ක් ලෙස ගණනය කළා. ආණ්ඩුවේ ඉන්න මේ ආර්ථික ඔස්තාද්ලා ජීවන වියදම මේ විදිහට අඩු කළේ කොහොමද? සංඛ්‍යා ලේඛනවලින් අඩු කළාට ජනතාවට එම මුදලින් ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ.

2017 අගෝස්තු මාසය වනවිට පසුගිය මාස 30ක කාලය තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පවුලකට අවශ්‍ය බඩු මල්ලේ වටිනාකම රුපියල් 6,882කින් ඉහළ ගොස් තිබෙනවා. හැම මාසයකම බඩු මල්ල රුපියල් 229.40කින් වැඩිවෙලා තිබෙනවා. ඒ අනුව 2017 අගෝස්තු වනවිට අධ්‍යාපනය, ප‍්‍රවාහන, ආහාර, සෞඛ්‍ය, ඇතුළත්ව බඩු මල්ලේ වටිනාකම රුපියල් 62,813ක් වෙනවා. නමුත් ආණ්ඩුව ජීවන වියදම පිළිබඳව ඇත්ත සඟවනවා.