SRILANKAN NEWS

ජවිපෙ, පසුගිය වසර 05කට අදාළ රාජ්‍ය වියදම් වාර්තාව ආණ්ඩුවෙන් ඉල්ලයි..

පසුගිය වසර 05කට අදාළ රාජ්‍ය වියදම් වාර්තාවක් ජනතා විමුක්ති පෙරමුණ මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව එම පක්ෂයේ ප්‍රචාරක ‍ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

පසුගිය 2016 අයවැය මගින් රාජ්‍ය වියදම් ලෙස වෙන්කළ මුදලින් රුපියල් බිලියන 7,300ක් එනම් 20%ක මුදලක් අදාළ විෂයන්ට වෙන් නොකර භාණ්ඩාගාරයේ රඳවාගෙන ඇති බව පසුගිය දාහත්වෙනිදා ගිණුම් කාරක සභාවේදී හෙළිවී තිබේ.

මේ අතර 2016 වසරේදී අධ්‍යාපනය සඳහා වෙන්කළ මුදලින් භාණ්ඩාගාරය නිදහස් කර ඇත්තේ 35%ක ප්‍රතිශතයක් එනම් රුපියල් බිලියන 65කට ආසන්න මුදලක් බවද හෙළිවී තිබේ.

මේ හේතුවෙන් ආණ්ඩුව අයවැය ඉදිරිපත් කොට අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී සේවා සඳහා විශාල මුදලක් වෙන්කරන බව කීවද සත්‍ය වශයෙන්ම සිදුවන්නේ ජනතාව මුලා කිරීමක් බව විජිත හේරත් මහතා පවසයි.

මේ නිසා පසුගිය වසර 05ක අයවැය වාර්තා මගින් රාජ්‍ය වියදම් ලෙස වෙන් කරන ලද මුදල් සහ එයින් වියදම් කොට ඇති මුදල් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ගිණුම් කාරක සභාව වෙත ලබාදෙන ලෙස විජිත හේරත් මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා තිබෙන බව කියා සිටියේය. මේ පිළිබඳව විශේෂ ගිණුම් කාරක සභා රැස්වීමක් ලබන 30 වෙනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිතය.