SRILANKAN NEWS

වරාය නගරයේ වැඩ කටයුතු 50% ක් අවසන් – චම්පික රණවක

වරාය නගරයේ ගොඩකිරීම් කටයුතු අඩකටත් වඩා අවසන් වී ඇතැයි මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ(25) පැවසීය.

වරාය නගරය හෙක්ටයාර් 269 කින් යුතු වන අතර එයින් හෙක්ටයාර් 135 කට ආසන්න ප‍්‍රමාණයක් ගොඩ කර අවසන් බව ද 2019 මැද භාගය වනවිට එහි ගොඩකිරීම් අවසන් කළ හැකි බව ද රණවක මහතා කීය.

එහි ගොඩ කර ඇති කොටසේ ඉදිකිරීම් කටයුතු ඇරඹීමට පාරිසරික අගැයීම් වාර්තාවක් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත් එය ළඟදීම දින 40 ක මහජන අදහස් විමසීම කාලය සඳහා ඉදිරිපත් කළ හැකි වන බවත් හෙතෙම සඳහන් කළේය.

මීට පෙර පාරිසරික අගැයීම් වාර්තාව ඉදිරිපත් කරන ලද්දේ ගොඩකිරීම් සඳහා බවත් එම භූමියේ ඉදිකිරීම් සඳහා වෙනම අනුමැතියක් අවශ්‍ය බවත් දන්වා ඇති අතර ඒ සඳහා වන වාර්තාව මේ වනවිට සකස් කර අවසන් බව ද රණවක මහතා කීවේය.

එහි දී අදහස් දැක්වු අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ද කීය.

‘‘ අපේ අරමුණ මේ නගරය ඉන්දියන් සාගරයේ වාණිජ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි. කලින් මේ නගරය ඉදි කිරීමට කටයුතු කළත් මෙවැනි බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. රේස් පදින්නත් කැසිනෝ ගහන්නත් තමයි බලාපොරොත්තු වුණේ.

වරාය නගරය ඉදිකිරීම ජනාධිපතිවරයාගේ අවසරය මත මහානගර අමාත්‍යංශය වෙත ලබා දී ඇති අවස්ථාවක් වන අතර එය මේ වන තුරුත් කිසිදු පළාත් පාලන ආයතනයකට අයත් නැහැ. එහි කළමණාකරන කටයුතු රජය හා චීන සමාගම එක්ව ස්ථාපිත කරන සමාගමක් මඟින් සිදුකරනවා ඇති. ඉදිරියේ දී වරාය නගරය අයත් වන යම් පළාත් පාලන ඒකකයක් සකස් කරනවා.

කටුනායක අධිවේගී මාර්ගයේ සිට චෛත්‍යය තෙක් කුළුණු මතින් ඉදිවන මාර්ගයක් ද එතැන් සිට කොල්ලූපිටියේ සිට දිවෙන මුහුදු බඩ මාර්ගය වෙත සම්බන්ධ වන අයුරින් උමං මාර්ගයක් ද ඉදි කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ නිසා ගාලූමුවදොර හෝටලයට හානියක් සිදු නොවන අතර කොළඹ මාර්ග තදබදය ද අඩුවනු ඇතැයි අප සිතනවා. ඉදිරියේ දී කොළඹ සිට ත‍්‍රිකුනාමලය තෙක් නාගරික කොරිඩෝවක් ඉදි කිරීම අපේ අරමුණයි. මේ වරාය නගරය වෙනුවෙන් අපි මහානගර අමාත්‍යංශය කසල කළමණාකරන බලපත‍්‍රය ලබා ගත්තා. ජලය සපයන්න ජලාශ දෙකක් මී ඔය හා යටිමහන ජලාශවල ඉදිවෙනවා. ඒ වගේම නගරයට විදුලිය සපයන්න මෙගා වොට් 300 ක ගෑස් බලාගාරයක් ඉදි කරන්න සැලසුම් කර තිබෙනවා.‘‘