ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පාලක පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය අහිමි වෙයි..

ද්විත්ව පුරවැසිභාවය සහිත තවත් මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ පාලක කොන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය අහිමි විය. අලුතින්ම ඉල්ලා අස්වූ මන්ත්‍රීවරයා වන ජෝන් ඇලෙක්සන්ඩර් ටෙනිස් ක්‍රීඩා ශූරයෙක් හැටියටත් කලක් නමක් දිනා සිටියේය.

සිය පාර්ලිමේන්තු පදවියෙන් ඉල්ලා අස් වූ මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කරමින් ඇතැම් විට තමා පිය උරුමයෙන් බ්‍රිතාන්‍ය පුරවැසි භාවයත් දැරීමට ඉඩකඩ ඇති හෙයින් එම පියවර තෝරා ගන්නා බව කියා සිටියේය.

ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීවරයකුට ද්විත්ව පුරවැසිභාවය දැරිය නොහැක.
මෑතදී ප්‍රකාශයට පත් කරන ලද මහාධිකරණ තීන්දුවක් අනුව ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් (Barnaby Joyce) සහ සෙනේට් සභිකයන් හතර දෙනකුට පාර්ලිමේන්තුව අහිමි විය.

නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් (Barnaby Joyce) ඇතුළු අදාළ මන්ත්‍රීවරුන් ඔස්ට්‍රේලියාවට අමතරව නවසීලන්තයේ හෝ කැනඩාවේ හෝ එක්සත් රාජධානියේ පුරවැසියෝ වෙති.

ඔවුන්ට පාර්ලිමේන්තුව අහිමි වීමන් පසු පාලක කොන්සර්වේටිව් පක්ෂය බලයේ රැඳී සිටියේ එක් වැඩි ඡන්දයකිනි.

බහුතර බලය අහිමි වුනත් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් (Malcolm Turnbull )පවසයි. ඊට හේතුව අගමැතිවරයාට ස්වාධීන මන්ත්‍රීවරුන් කීප දෙනකුගේ සහයෝගය ලැබෙමින් ඇති හෙයිනි. ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 150 කි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැක. ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි විය.

bbc.com/sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top