SRILANKAN NEWS

ප්‍රබාකරන්ට සමාන නායකයා සම්බන්‍ධන්ය – විජයකලා

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක ප්‍රබාකරන්ට සමානව සියළු දෙනා විසින්ම කතා බහට ලක්වූ නායකයෙකු ලෙස සම්බන්‍ධන් මහතා සිටින බවත්, ඔහු සමඟ එක්වී දෙමළ ජාතික සන්ධානය නොකඩා 2020ට පෙර විසඳුමක් ලබා ගැනීමට දෙමළ ජනතාව එක්විය යුතු යැයි කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් මහත්මිය පවසයි.

අද සඳුදා දින යාපනයේ පිහිටි ඇයගේ නිවසේදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පවසා සිටියේය.

“උතුර නැගෙනහිරදී දෙමළ ඊළමක් ඉල්ලා අපගේ තරුණයන් ආයුධ අරගලයක් දියත් කර, එම අරගලය පරාජයට පත්වූ මෙම අවස්ථාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක ප්‍රබාකරන් ජීවතුන් අතර සිටිනවාද නැද්ද යන තත්වයක් උදාවී තිබෙනවා. යුද්දය අවසන් වූ බවට පවසා සිටින පසුගිය රජය ප්‍රබාකරන් ජීවතුන් අතර සිටිනවාදැයි තහවුරු කළ යුතුයි. ඔහු මියගොස් ඇත්නම් ඒ සඳහා මරණ සහතිකය ලබාදුන්නේ නම් ප්‍රබාකරන් මියගොස් ඇතැයි අපට ද තහවුරු කර ගන්න පුළුවන්.

යුද්දය අවසන් වූ පසු අද අපගේ නායකයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්‍ධන් මහතාය, අපගේ රටේ, ඩයස්පෝරාවේ සිටන අපගේ නායකයා ලෙස ඔහු පත්වී සිටිනවා. අපගේ විසඳුම සම්බන්‍ධන් මහතා හරහා ලබාගත යුතුයි. දෙමළ ජාතික සන්ධානය නොකඩා සම්බන්‍ධන් මහතාගේ නායකත්වයෙන් 2020ට පෙර විසඳුමක් ලබා ගැනීමට සියළු දෙනාම සහාය ලබාදිය යුතු අතර, ජනතාව ද අවධානයෙන් කටයුතු කළ යුතුයි“ යැයි ඇය වැඩිදුරටත් පවසයි.