SRILANKAN NEWS

ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කරමින් මංකොල්ලකරුවන්ට ඔත්තුව ලබා දෙන කාන්තාවක් අත්අඩංගුවට

යාපනය ප්‍රදේශයේ දී දහවල් කාලයේ නිවස්වල ගෘහ සේවිකාවක් ලෙස ගොස් රාත්‍රීයේදී මංකොල්ලකරුවන්ට ඔත්තුකාරියක් ලෙස කටයුතු කළ කාන්තාවක් මානිප්පායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සංගානයි ප්‍රදේශයෙහි පදිංචි 55 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්‍ධයෙන් පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ,

පසුගිය කාලයේ සංගානයි ප්‍රදේශයේ සිඳුවූ කොල්ලකෑමේ සිද්ධිය, සුදුමලයි ප්‍රදේශයේ පූජකවරයෙකුගේ නිවසේදී සහ වට්ටුකෝට්ටයි ප්‍රදේශයේ ගුරුවරයෙකුගේ නිවසේ සිඳුවූ සොරකම්වලට මෙම කාන්තාවට සම්බන්‍ධයක් තිබෙන බව හෙළිවී ඇත.

මෙම කාන්තාව වයසක පුද්ගලයන් සිටින නිවස්වලට ගොස් නිවසේ වැඩ කටයුතු කරන මුවාවෙන් එහි මුදල්, ආභරණ තබා ඇති ස්ථාන ඇතුළු තොරතුරු ලබාගෙන එය තමන් දන්නා මංකොල්ලකරුවන්ට ලබා දෙයි. ඉන්පසු එම මංකොල්ලකරුවන් අදාළ නිවසට ගොස් මුදල් සහ ආභරණ සොරකම් කරන අතර, එයින් කොටසක් මෙම කාන්තාවට ද ලබා දෙනු ලැබේ.

මෙවැනි තත්වයකදී අදාළ කාන්තාව පිළිබඳව තමන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ඇයව අත්අඩංගුවට ගත් අතර, ඇය සතුව තිබී රන් මාල දෙකක් සහ මුදුවක් ද සොයාගත් බව පොලිසිය පැවැසීය.