SRILANKAN NEWS

අතුරුදන්වූවන්ව ජන්ද ප්‍රචාරක මාතෘකාවක් කරන්න එපා

අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට කිසිඳු විසඳුමක් ලබා නොදුන් අය ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන මැතිවරණයේදී මෙම කාරණාව තම ප්‍රචාරක මාතෘකාවක් ලෙස භාවිතා නොකළ යුතු යැයි අතුරුදන්වූවන්ගේ ඥාතීන් සංගමය පවසයි.

මේ සම්බන්‍ධයෙන් උතුර නැගෙනහිර අතුරුදන්වූවන්ගේ සංගමය හා කිලිනොච්චිය දිස්ත්‍රික්ක සංගමයේ නායිකාව වන යෝගරාසා කනකරන්චනි පවසා සිටියේ,

“යුද්දය අවසන්වී වසර අටක් ගතවූ නමුත් අතුරුදන්වූ අප ඥාතීන්ට කිසිඳු විසඳුමක් ලැබී නැහැ, අපි විශ්වාස කළ අපගේ නියෝජිතයන්ද අපව රවටා ඇති අවස්ථාවක අපගේ ප්‍රශ්ණයට විසඳුමක් ඉල්ලා ආරම්භ කළ අරගලයට අදට (31/12/2017) දින 315ක් අවසන්වී තිබෙනවා,

මෙම අලුත් අවුරුද්දදී හෝ අපගේ ප්‍රශ්ණය ගැන දේශපාලනික පාර්ශවය අවධානය යොමු කළ යුතුයි. අතුරුදන්වූවන්ගේ තත්වය වටහාගෙන රටේ ජනාධිපති හා අගමැති ඇතුළු පිරිස නිසි පිළිතුරක් ලබාදිය යුතුයි. එයට දෙමළ නායකයන් බලපෑමක් කළ යුතුයි.

අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණයට විසඳුමක් ලබාදීමට නොහැකි පුද්ගලයන් අපගේ ප්‍රශ්ණය සිය මැතිවරණ ප්‍රචාරක මාතෘකාවක් ලෙස භාවිතා නොකළ යුතුයි“ යැයි ඇය වැඩිදුරටත් පවසා සිටියාය.