ශ්‍රී ලංකාව සඳහා වූ යුරෝපා සංගමයේ දේශපාලන අංශ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අතර ඊයේ (23) දින කොළඹ දී සාකච්ඡා හමුවක් පැවැත්වුණි.
එහිදී දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සම්බන්ධන් මහතා කරුණු ඉදිරිපත් කළ බව පැවැසේ. ත්‍රස්ත මර්ධන පනත අහෝසි කළ යුතු බවත්, ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දුවල එය ද ඇතුලත් වන අතර, එම පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පුද්ගලයන්ව කඩිනමින් නිදහස් කළ යුතු යැයි සම්බන්ධන් මහතා එහිදී අවධාරණය කර තිබේ.
තවද හමුදාව යටතේ ඇති මෙතෙක් නිදහස් නොකළ ජනතාවගේ ඉඩම් නිදහස් කළ යුතු බවත්, ජනතාව තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා අරගලයක නිරතව සිටින බවද පෙන්වාදුන් සම්බන්ධන් මහතා අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ ක්‍රියා කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු යැයි පවසා තිබේ.
තවද පළාත් පාලන මැතිවරණය අවසන් වූ පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කටයුත්ත ද කඩිනම් කර, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර, එය ජනමත විචාරණයකින් ජනතාවගේ පිළිගැනීමකින් සම්මත කළ යුතු යැයි සම්බන්ධන් මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
Add Comment