SRILANKAN NEWS

අධි ආරක්‍ෂක කලාපය තුල පිහිටි පේදුරුතුඩුව, පොන්නාලයි මාර්ගය නිදහස් කෙරේ..

හමුදා අධි ආරක්‍ෂක කලාපය තුල පිහිටි පේදුරුතුඩුව, පොන්නාලයි මාර්ගය ලබන 4 නිදහස් දිනයදා සම්පූර්ණයෙන් නිදහස් කිරීමට නියමිතය. මෙම මාර්ගය මයිලිඩි වරාය යාබදව මෙතෙක් කාලයක් හමුදාව යටතේ තිබුණි. කි.මී. තුනක පමණ මෙම ප්‍රදේශය අධි ආරක්‍ෂක කලාපයක් ලෙස පැවැති අතර එහිදී හමුදා ප්‍රවාහන කටයුතු පමණක් සිඳු කෙරුණි.

මේ හේතුවෙන් පේදුරුතුඩුවේ ජීවත් වන මයිලිඩි ධීවරයන් පසුගිය වසරේ දී නිදහස් කළ මයිලිඩි වරාය භාවිතා කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවලට මුහුණ දෙමින් සිටිති. එම මාර්ගය හමුදාව යටතේ පවතින හෙයින් මයිලිඩි වරාය දක්වා යෑමට ජනතාවට කි.මී. 50ක් පමණ දුරක්ද, පෞද්ගලික වාහනවල ගමන් කරන්නන් කි.මී. 20ක් පමණ දුරක් ගමන් කිරීමට සිඳුවිය.

මෙම මාර්ගය පසුගිය වසර අවසානයේ ජනතා අයිතියට නිදහස් කරන බව පවසා තිබූ නමුත්, නිදහස් දිනයදා සම්පූර්ණයෙන් නිදහස් කිරීමට හමුදාව පියවර ගෙන තිබේ.

මේ අතර, නිදහස් කිරීමට නියමිත පේදුරුතුඩුව පොන්නාලයි මාර්ගය අවට පිහිටි මයිලිඩි වරායට අසල ජනතාවගේ ඉඩම් කොටසක්ද නිදහස් කිරීමට නියමිත අතර, මයිලිඩි වරාය ආසන්නයේ පිහිටි දැනට හමුදා නේවාසිකාගාරයක් ලෙස පවත්වාගෙන යන ක්ෂය රෝග රෝහලද කඩිනමින් නිදහස් කිරීමට නියමිත බව පැවැසේ.