SRILANKAN NEWS

කේප්පාපිලවු ජනතාවගේ අරගලයට අධිකරණයෙන් අනුමැතිය..

තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා සත්‍යග්‍රහයක නිරතව සිටින කේප්පාපිලවු ජනතාව, පොදු ජනතාවට අවහිරයක් නොවන අයුරින් සිය සත්‍යග්‍රහය පවත්වාගෙන යා හැකි බවට මුල්ලතිව් මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා ඊයේ (12) දින අවසර ලබාදී තිබේ.

හමුදාව යටතේ තිබෙන තම ඉඩම් නිදහස් කරන්නැයි ල්ලාා පසුගිය වසරක කාලයක් එම ජනතාව සත්‍යග්‍රහයක නිරතව සිටිති.

එහි ඉඩම් කොටසක් නිදහස් කර ඇති නමුත්, සෙසු ඉඩම් ද නිදහස් කරන තෙක් තම සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යන බව එම ජනතාව පවසා තිබේ. මෙවැනි තත්වයකදී පසුගිය නිදහස් දිනය ශෝක දිනයක් ලෙස සැමරු එම ජනතාව නිදහස් කළ ප්‍රදේශය තුළ පිහිටි කෝවිලකට යෑමට උත්සහ කළ අවස්ථාවේ දී පොලීසිය විසින් ඔවුන්ව එහි යෑමට නොදීම හේතුවෙන් නොසන්සුනත් තත්වයක් ඇතිවී තිබුණි. එහිදී කලහකාරි ලෙස හැසිරුණු බව කියා පොලීසිය විසින් පස් දෙනෙකුව අත්අඩංගුවට ගෙන මුල්ලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඉකුත් නඩුව ඊයේ දින කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.