SRILANKAN NEWS

නව සංහිඳියා නාලිකාව ජනපති අතින් ඇරඹේ

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව දෙමළ නාලිකාව වන “සංහිදියා නාලිකාවේ” විකාශ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (20) පස්වරුවේ ජාතික රූපවාහිනි පරිශ්‍රයේදී පැවැත්විණි.

එය, නම් කර තිබෙන්නේ, සංහිදියා නාලිකාව ලෙසය. 1982 පෙබරවාරි 15 වැනිදා ආරම්භ කෙරුණු ජාතික රූපවාහිනිය, 1998 දී දෙමළ ජනතාව වෙනුවෙන් චැනල් අයි විකාශය ආරම්භ කරන ලදි. එක් සංඛ්‍යාතයක් භාවිතා කරමින් ක්‍රීඩා, ඉංග්‍රීසි, දෙමළ වැඩසටහන්, ඒ ඔස්සේ විකාශය විය.

ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසු බිඳුණු සිත් එකිනෙක යා කිරීමේ ජාතික වගකීමේ කොටස්කරුවෙකු ලෙස, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සිය වගකීම ඉටු කරමින්, දෙමළ භාෂාව කථාකරන ජනතාවගේ අපේක්ෂාවන් හා අභිලාශයන් ඉටු කිරීම පිණිස නව සංහිඳියා නාලිකාව ආරම්භ කෙරේ. විකාශන කටයුතු සඳහා සංඛ්‍යාත 5ක් ජාතික රූපවාහිනිය වෙත, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මැදිහත් වීමෙන් ලබා දී තිබේ.

කොළඹ, හන්තාන, කොකාවිල්, යාපනය සහ ගිණිකොණ සීමා ආවරණය වන අයුරින් සම්ප්‍රේෂණ යන්ත්‍ර සවිකෙරේ.

මෙරට ජනගහණයෙන් 25%ක් වන දෙමළ භාෂාව කථාකරන ජනතාවගේ ජාතික, ආගමික, සංස්කෘතික අනන්‍යතාව වෙනුවෙන් මෙම නාලිකාව පූර්ණ කාලීනව විකාශය කෙරේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මේ අවස්ථාවට එක්වීමට නියමිතය.