SRILANKAN NEWS

අම්පාර සිද්ධීය සම්බන්‍ධයෙන් නීතිය අපක්‍ෂපාතී හා සාධාරණ ලෙස ක්‍රියාත්මක කරනවා

නීතිය අපක්‍ෂපාතී හා සාධාරණ ලෙස නිසි ආකාරව ක්‍රියාත්මක වීම තහවුරු කිරීම මෙන්ම මහජන විශ්වාසය ගොඩනැංවීම සඳහා කටයුතු කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

පසුගිය දින අම්පාර ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධව මෙම නිවේදනය නිකුත් කර ඇත.

නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි…..

”පසුගිය දින අම්පාර ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අඩුපාඩු සිදුවූ බවට පැමිණිලි ලැබී ඇත. එසේම මෙම සිද්ධිය සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාව අසම්පූර්ණ බවට ද තොරතුරු වාර්තා වී ඇත. නීතිය හා සාමය අමාත්‍යංශය විසින් සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ විමර්ශනයක් සිදු කිරීම සඳහා මඩකලපුව දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී ඇත.”

”නීතිය අපක්‍ෂපාතී හා සාධාරණ ලෙස නිසි ආකාරව ක්‍රියාත්මක වීම තහවුරු කිරීම මෙන්ම මහජන විශ්වාසය ගොඩනැංවීම සඳහා ද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය කටයුතු කරනු ඇත. එසේම, අලාභාහානියට පත්වූ පෞද්ගලික දේපොළ වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දීමට මෙන්ම අලාභාහානියට පත්වූ වෙළෙඳසැල් මෙන්ම මුස්ලිම් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කඩිනමින් වන්දි ලබා දීමටද කටයුතු කරනු ඇත.”

”මෙම උණුසුම් තත්ත්වයේදී සාමය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් වගකීමෙන් යුතුව කැප වූ මහා සංඝරත්නය, මුස්ලිම් මවුලවිවරුන් ඇතුළු පූජ්‍ය පක්‍ෂය, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙන්ම අනෙකුත්සි යලූ ජනකොටස් වෙත විශේෂ ස්තුතියක් පිරිනමනු කැමැත්තෙමු. ඉදිරියේදී මෙවැනි සිදුවීම්වලට හවුල් වන සියලූදෙනා හට තරාතිරම නොබලා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට රජය විසින් කටයුතු කරනු ඇත.”