SRILANKAN NEWS

“තාත්තා හිරේ ආදායමට රටකජු විකුණනවා“

childපුන්කුඩුතිව් පාසල් සිසුවිය ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් අත්අඩංගුවට පත්වී සිටින ප්‍රධාන සැකකරුවකුගේ දරුවන් දිළිදුකම හේතුවෙන් යාපනය නගරයේ රටකජු විකිණීමේ රැකියාවෙහි නිරතව සිටිති.

පුන්කුඩුතිව් සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් අත්අඩංගුවට ගෙන බන්‍ධනාගාර ගතව සිටින සැකකරුවන් නව දෙනාගෙන් එක් සැකකරුවකුගේ දරුවන් මෙලෙස දිළිදුකම හේතුවෙන් යාපනය නගරයේ රටකජු විකුණමින් සිටිති.

යාපනය නගරයේ රටකජු විකුණන ළමයකු සිය තාත්තා පුන්කුඩුතිව් සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන වවුනියාව බන්‍ධනාගාරයේ රඳවා තබා ඇති බව පවසා සිටියේය.

එම ළමයා වැඩිදුරටත් පවසා සිටියේ,

‘තාත්තා බන්‍ධනාගාරයේ සිටින හෙයින් කන්න බොන්න ආදායමක් නැහැ, ඉස්සර පුන්කුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිටියා, ඉන් පසු තාත්තාව අත්අඩංගුවට ගැනීමෙන් තවඳුරටත් එහි අපිට ජීවත්වීමට නොහැකි හෙයින් යාපනය නගරයට පැමිණියා. දැන් අපි නිවසට අසල පිහිටි පාසලේ තමයි ඉගෙන ගන්නේ, පාසල් ගොස් නිවසට පැමිණි පසු අම්මා රටකජු පැකට් කරලා දෙනවා එය අපි යාපනය නගරයේ විකුණනවා, එයින් ලැබෙන ආදයමෙන් තමයි දැන් අපි ජීවත්වෙන්නේ‘

img_5208‘මට මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා ලබන වසරේ මම හතර වැනි පංතියට යනවා‘ යැයි එම ළමයා වැඩිදුරටත් පවසා සිටියේය.

පුන්කුඩුතිව් සිසුවිය පසුගිය 2015 වසරේ මැයි මස 13 වනදා පාසල් යමින් සිටියදී පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර ඝාතනය කර තිබුණි. ඉකුත් සිද්ධිය සම්බන්‍ධයෙන් 12 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන පසුගිය වසරක කාලයක් බන්‍ධනාගාර ගත කර තිබේ.