SRILANKAN NEWS

රවිරාජ් ඝාතනයේ සැකකරුවන් නිදොස්කොට නිදහස්

යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය පිළිබද චෝදනා එල්ල වී සිටි බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනා, කොළඹ මහාධිකරණය විසින් නිදොස්කොට නිදහස් කර ඇති බව වාර්තා වේ.

අදාළ නඩුව විභාග කිරීමට පත්කරන ලද විශේෂ ජූරි සභාවේ ඒකමතික තීරණයට අනුව අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටි නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු නිලධාරීන් තිදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනා සියලු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍ය තිලක මහතා අද (24) අළුයම(12.25) නියෝග කළේය.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට විශේෂ ජූරි සභාවක් හමුවේ විභාගයට ගැනුණු මෙම නඩුවේ ජූරි සභිකයන් හත් දෙනාගේ ඒකමතික තීරණය අනුව විත්තිකරුවන් තිදෙනා මෙසේ නිදොස් කොට නිදහස් කෙරිණි.

පසුගිය 2006 වසරේ නාරාහේන්පිට යුද හමුදා රෝහල ඉදිරිපිට දී පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ට වෙඩි තබා ඝාතනය කර තිබුණි.