සනීපාරක්ෂක කම්කරුවන්ට දීමනාවක්

මහා නගර සභාවල සේවයේ නිරත සියලුම සනීපාරක්ෂක කම්කරුවන්ට දූවිලි දීමනාව ලබාදෙන ලෙස පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා නාගරික කොමසාරිස්වරුන්ට උපදෙස්දී තිබේ.

ඒ, වර්ග කළ කසළ එකතුකිරීමේ වැඩසටහන පිළිබඳ ව පසුගියදා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ සංකල්පයක් අනුව, පසුගිය නොවැම්බර් 01දා සිට මහා නගර සභා විසින් වර්ග කළ කසළ පමණක් එකතුකිරීමේ වැඩසටහන ආරම්භ කෙරුණි. අනතුරුව, අමාත්‍යවරයා මහා නගර සභා බල ප්‍රදේශවල සංචාරය කරමින් මෙම වැඩසටහන නිරීක්ෂණය කළා. එමෙන්ම, මහජනතාව සහ මහා නගර සභාවල සනීපාරක්ෂක කම්කරුවන් හමුවී ඔවුන් මුහුණදෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳ ව සාකච්ඡා පැවැත්වූවා. ෆයිසර් මුස්තෆා මහතා සනීපාරක්ෂක කම්කරුවන්ට දූවිලි දීමනාව ලබාදීමට උපදෙස් දුන්නේ, මෙම සාකච්ඡාවලදී ඔවුන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.
මහා නගර සභාවල සනීපාරක්ෂාව වෙනුවෙන් කැපවෙන මෙම සනීපාරක්ෂක කම්කරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීමට කටයුතු කරන ලෙස ද අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා නාගරික කොමසාරිස්වරුන්ට උපදෙස් දුන්නා. එමෙන්ම, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, නිරන්තරව විෂ බීජ සමග ගැටෙන මෙම සනීපාරක්ෂක කම්කරුවන් මාස තුනකට වරක් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරවන ලෙසයි. ඔවුන්ට අවශ්‍ය ජැකට්, අත්වැසුම් සහ බූට් අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන ලෙසත්, ඒවා පැළඳ කසළ ඉවත් කිරීමේ කටයුතුවල නිරත වන ලෙසට උනන්දු කරන ලෙසත් ෆයිසර් මුස්තෆා මහතා උපදෙස් ලබා දුන්නේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top