SRILANKAN NEWS

කිලිනොච්චිය පිහිටි යාපනය සරසවි පීඨයේ අලුත්වැඩියා කළ බුදු කුටිය සහ ප්‍රතික්‍ෂේප වූ පිල්ලයාර් කෝවිල

යාපනය සරසවියට අයත් කිලිනොච්චියේ ‘විශ්වවිද්‍යාල නගර’ පරිශ්‍රයදී කුඩා පිල්ලයාර් කෝවිලක් ඉදිකර පූජා කටයුතු සිදු කිරීමට සිසුන් ගත් උත්සහය පරිපාලනය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ. මෙය උසස් අධ්‍යාපන ආයතනයක තිබිය යුතු බහුත්වවාදය ගැන ප්‍රශ්ණයක්වී ඇති බව ද සිසුන් පවසති.

යාපනය සරසවියේ කිලිනොච්චිය පීඨය නැවැත පදිංචියේ ආරම්භ කාලයේදී විශාල හමුදා කඳවුරක් ලෙස තිබුණි. පසුගිය රජය සමයේ හමුදාව සතුව තිබී නැවැත ලබාගත් ඉකුත් ඉඩම යාපනය සරසවි පරිපාලකයන් වෙත භාරදී තිබුණි.

හමුදාව රැඳී සිටි එම ඉඩමේ ඔවුන්ගේ ආගමික කටයුතු සඳහා බුදු පිළිමයක් තැන්පත් කළ බුදු කුටියක්ද ඉදි කර තිබුණි. යාපනය සරසවිය විසින් ඉකුත් ඉඩම නැවැත ලබාගත් පසුද එහි එම බුදු පිළිමය දිගටම තිබුණි. ඉන්පසු යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා ඉංජිනේරු පීඨ කිලිනොච්චිය වෙත ව්‍යාප්ත කර අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන අතර එම බුදු කුටිය ද ආරක්‍ෂාකාරිව රැක බලාගත්හ.

මෙවැනි තත්වයකදී පසුගිය සති කිහිපයකට පෙර එහි තිබූ බුදු කුටියට යම්කිසි පිරිසක් විසින් අලාභ හානියක් සිදුකර තිබූ අතර, සරසවි පරිපාලකයන් විසින් වහාම අනුරාධපුරය සිට අලුතින් බුදු පිළිමයක් ගෙනවිත් තැන්පත් කර යළි බුදු කුටියක්ද ඉදිකර පූජා කටයුතු ආරම්භ කළේය.

මෙවැනි තත්වයකදී එහි ඉගෙනුම ලබන හින්දු භක්තික සිසුන් ගහක් යට පිල්ලයාර් පිළිමයක් තබා සිය පූජා කටයුතු පවත්වාගෙන ගිය අතර, එහි සිසුන් විසින් සිවන් පිළිමයක්ද තැන්පත් කර තිබේ. මෙය දැනගත් පරිපාලනය වහාම එම පිල්ලයාර් පිළිමය අසල පිහිටි තිරුමුරිකන්ඩි කෝවිලට භාර දෙන ලෙස පැවැසීමෙන් සිසුන් එම පිළිමය කෝවිලට ගෙන ගොස් භාරදී තිබේ. සිවන් පිළිමය ද අසල පිහිටි නිවසක තැන්පත් කර තිබේ.

අනතුරුව තම ආගමික කටයුතු සිදු කිරීමට පිල්ලයාර් පිළිමය තිබූ ස්ථානයේ තාවකාලික කුටියක් ඉදිකර දෙන්නැයි සිසුහු ඉල්ලා සිටි නමුත් සරසවි පරිපාලනය එය ප්‍රතික්‍ෂේ කර තිබේ. මෙවැනි තත්වයකදී පිල්ලයාර් පිළිමය තිබූ ස්ථානයේ සිසුන් කුඩා පැල්පතක් ඉදිකර එහි පිළිමයක් ලෙස ගලක් තබා තම පූජා කටයුතු සිදු කිරීමට පටන්ගෙන තිබේ.

කෙසේ නමුත් එයට ද සරසවි පරිපාලකයන් අවසර නොදී එයද ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවට සිසුන් චෝදනා කර තිබේ. එපමණක් නොව සිංහල සිසුන්ට සිය ආගමික කටයුතු සිදු කිරීමට බුදු කුටියක් ඉදිකර සියළු පහසුකම් සපයා දී ඇති නමුත්, තමන්ට ආගමික කටයුත්තක් සිදු කිරීමට අනුමැතියක් නොමැති බව සිසුහු වැඩිදුරටත් පවසා තිබේ.

බුදු කුටියක් තිබීම ගැන තමන්ට කිසිඳු ප්‍රශ්ණයක් නොමැති බවත්, බෞද්ධ සහෝදර සහෝදරියන්ට සිය ආගමික කටයුතු සඳහා එය අවශ්‍ය බවත්, එලෙස තමන්ට ද තම ආගමික කටයුතු සිදු කිරීමට පරිපාලනය විසින් පියවර ගත යුතු බව හින්දු ආගමික සිසුන් ඉල්ලා තිබේ.

මේ සම්බන්‍ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය ඉංජිනේරු පීඨ පීඨාධිපති අට්පුදරාජා මහතාගෙන් විමසූ විට, මෙම සිද්ධිය සම්බන්‍ධයෙන් මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි බවත්, එය ගැන දැන ගැනීමට විශ්ව විද්‍යාලයේ රෙජිස්ට්රාර්වරයා අමතන ලෙස ද පවසා සිටියේය.

ඒ අනුව රෙජිස්ට්රාර්වරායාගේ මේ ගැන විමසූ විට ඉකුත් සිද්ධිය ගැන මෙතෙක් විශ්ව විද්‍යාලයේ පරිපාලනය කිසිඳු තොරතුරක් ලබාදී නැති බව පවසා සිටියේය.