SRILANKAN NEWS

සයිටම් විරෝධී අරගලයට අපි හැකි උපරිම ශක්තිය යොදා මැදිහත් වෙනවා – ජ.වි.පෙ.

සයිටම් විරෝධී අරගලයට අපි හැකි උපරිම ශක්තිය යොදා මැදිහත් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ඊයේ (08) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම පක්‍ෂයේ නායක අනුර දිසානායක මහතා මේ බව පවසා තිබේ.

සයිටම් ආයතනය ඉතාම වංචනික ආයතනයක්. එහි ඉතිහාසය ගත්තාම ආයතනය පිහිටුවීම වෛද්‍ය පීඨය ආරම්භ කිරීම, රුසියාවේ විශ්වවිද්‍යාලයක් සමඟ ඒකාබද්ධ යැයි ප‍්‍රකාශ කිරීම යන සිදුවීම්වලදී ඉතාම තක්කඩි වංචාවලින් පිරිලා තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තීය සමිති, බහුජන සංවිධාන එක්ව විශාල විරෝධතාවයක් දියත් කරමින් තිබෙනවා. එම අරගලයට අප පක්‍ෂයක් ලෙස අපගේ අවංක සහයෝගීත්වය පළ කරනවා. සයිටම් විරෝධී අරගලයට අපි හැකි උපරිම ශක්තිය යොදා මැදිහත් වෙනවා.

අපේ රටේ අධ්‍යාපනයත්, වෛද්‍ය අධ්‍යාපනයත්, සෞඛ්‍යයටත් මේ ආණ්ඩුව සිදුකරන අහිතකර බලපෑම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අපි කටයුතු කරනවා. මේ මාසය පුරා දැවැන්ත විරෝධතා කි‍්‍රයාමාර්ග ගැනීමට අප කටයුතු කරනවා. අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනය අනතුරේ දමන, නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට උත්සාහ කරන මෙම කළු ආයතනය අහෝසි කළ යුතුයි.

මේ මොහොතේ රටේම ආන්දෝලනයකට ලක් වී තිබෙන සයිටම් ආයතනය ගැන ආණ්ඩුව ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා තමන්ගේ ස්ථාවරය ඉදිරිපත් කළ යුතු යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත පවසා තිබේ.