SRILANKAN NEWS

සයිටම් සිසුන්ට රජයේ රෝහලක සායනික පුහුණුව, සිසුන් ඇතුළත් කිරීම මාස 6කට අත්හිටුවීමට යෝජනා කරයි..

සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයින්ට රජයේ රෝහලක වැඩිදුර සායනික පුහුණුව ලබා දීම සහ වෛද්‍ය සිසුන් ඇතුළත් කර ගැනීම මාස 6ක කාලසීමාවක් සඳහා අත්හිටුවන ලෙස සයිටම් පරිපාලනයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍යපීඨවල පිඨාධිපතිවරු සමඟ ඊයේ (13දා) එම අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් අවසන් විසදුමක් ලැබෙන තුරු එහි වෛද්‍ය උපාධිය සදහා වූ නව බදවා ගැනීම් මාස හයකට කල් දැමීම, සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයින්ට ශල්‍ය වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය සහ ප්‍රසව විද්‍යාව සහ ළමා වෛද්‍යවේදය පිළිබඳ එක් එක් ක්‍ෂේත්‍රය සඳහා මාසයක් බැගින් රජයේ රෝහලක වැඩිදුර සායනික පුහුණුව ලබා දීම, වෛද්‍ය සභාව විසින් පවත්වන විභාගයකට වාඩි කරවීම වැනි යෝජනා ඉදිරිපත් කළ බවත්, මෙම යෝජනා සම්බන්දයෙන් සයිටම් ආයතනයද එකගතාවය පලකර ඇතැයි වාර්තාවේ.