SRILANKAN NEWS

යෝජනා ක්‍රියාත්මක කිරීමට එ.ජා. සංවිධානය විසින් කාල සටහනක් ඉල්ලයි..

ජිනීවා නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් අලුත් යෝජනාවක් ඉදිරිපත් කරන විට, පසුගිය 2015 වසරේ සම්මත කරන ලද 30/1 යෝජනාවෙහි සඳහන් වූ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට කාල සටහනක් ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතීන් මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීමට නියමිත බව පැවැසේ.

ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය වෙත ජාත්‍යන්තර මානව හිමිකම් නිරීක්‍ෂණ කමිටුව විසින් භාරදුන් ලිපියට අනුව මෙලෙස කාල සටහනක් ඉල්ලා සිටිීමට තීරණය කර ඇති බව පැවැසේ.

පසුගිය යෝජනා කෙටුම්පතයෙහි සඳහන් වූ නිර්දේශ 25කින් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය ගැන ප්‍රසාදය පළ කර තිබෙන ජාත්‍යන්තර මානව හිමිකම් කමිටුව, සංක‍්‍රාන්තික යුක්ති ක‍්‍රියාවලිය සම්බන්‍ධ කටයුතුවල කිසිඳු ප්‍රගතියක් නැති බව පෙන්වාදී තිබේ.

විශේෂයෙන් අතුරුදන්වූවන් පිළිබඳ කාර්‍යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට අවශ්‍ය උපදෙස් ලබාගෙන නොමැති බවත්, මෙතෙක් ඉකුත් කාර්‍යාලය පිහිටුවා නොමැති බවද පෙන්වාදී තිබේ.

තවද, ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සමන්විත මිශ්‍ර අධිකරණය, සත්‍ය සොයා ගැනීම සහ සංහිඳියා වැඩපිළිවල, පීඩිතයන්ට වන්දිය ලබාදීම යන කටයුතුවල කිසිඳු ප්‍රගතියක් නැති බවද සඳහන් කර තිබේ.

මේ සම්බන්‍ධයෙන් පනත් කෙටුම්පත් සකසමින් සිටින බවට රජය පවසා සිටින නමුත්, මෙතෙක් කිසිඳු ප්‍රායෝගික කටයුත්තක් සිදු කර නැති බව ජාත්‍යන්තර මානව හිමිකම් නිරීක්‍ෂණ කමිටුව පෙන්වාදී තිබේ.

– ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල