SRILANKAN NEWS

පුතාව පැහැරගෙන ගියේ නැහැ, අත්අඩංගුවට ගෙන ඇති බවට විදේශ කටයුතු අමාත්‍යංශය ද තහවුරු කළා..

මානව හිමිකම් ප්‍රගති මධ්‍යස්ථානයේ සැලසුම් කළමණාකරු ලෙස කටයුතු කළ මගේ පුතා වන සින්නවන් ශ්‍රීපන් සුන්දරාජ් පැහැර ගැනීමට ලක්වුයේ නැහැ, ඔහුව අත්අඩංගුවට ගෙන රජය විසින් රඳවා තබාගෙන ඇති බවත්, නමුත් රඳවා තබා ඇති ස්ථානය නොදන්නා බවට 2009 වසරේදී විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි පාලිත කොහන මහතා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්‍යලයේ සහ යුරෝපා සංගමයේ නියෝජිතයන් වෙත දැඩිව පවසා තිබූ නමුත් අද වනතෙක් පුතාව දැකින්නට නොලැබුණු බව සින්නවන් තිරේසා නැමැති මව කදුලු සලමින් පැවැසීය.

කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල අසල අතුරුදන්වූන්ගේ ඥාතීන් පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරයට අදට දින 16ක් ගතවී තිබේ. එහිදී තිරේසා නැමැති මව වීරකේසරි පුවත්පතේ පළ වූ තම පුතාගේ සම්මුඛ සාකච්ඡාව සහ ඡායාරූප සමඟ විරෝධතාවෙහි නිරතව සිටියි.

04-03-2007 කාල වකවානුවේදී තම පුතා රාජ්‍ය නොවන ආයතනයක සේවය කළ අවස්ථාවේ ළමා අපචාර සිද්ධීන් සම්බන්‍ධයෙන් විරකේසරි පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක පිටුව ද පෙන්වමින් තම පුතා අතුරුදන්වීමේ කතාව කඳුලු සලමින් පවසා සිටියාය.

එනම්, 2009-05-07 වනදා හමුදා නිළ ඇඳුමින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පුතාව පැහැරගෙන ගියා, එදින අධිකරණ නඩු අංක එම්.සි.පි. 330/9 නියෝගයට අනුව නිදහස් වුනා. අනතුරුව එදිනම සවස තම පවුලේ අය සමඟ මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී කොල්ලුපිටිය දක්වා යතුරු පැදියකින් ලුහුබැද පැමිණි දෙදෙනෙකු සවස හයට පමණ මෝටර් රථය හරස්කළ අතර, එම අවස්ථාවේ යුදු වෑන් රථයකින් පැමිණ 4-5 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පුතාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබුණා. පුතා ගැන මෙතෙක් කිසිඳු තොරතුරක් නැහැ, අපිත් සොයා නොගිය තැනක් නැහැ, පැමිණිළි නොකළ සංවිධානයකුත් නැහැ, රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයෙක් නිළ වශයෙන් ජාත්‍යන්තර නියෝජිතයන් වෙත මගේ පුතාව පැහැරගෙන ගියේ නැති බවත්, ඔහුව අත්අඩංගුවට ගෙන රජය විසින් රඳවා තබාගෙන ඇති බවට පවසා තිබූ නමුත් මෙතෙක් ඔහු ගැන කිසිඳු තොරතුරක් හෙළි නොකරන්නේ කුමක් නිසා දැයි ඇය ප්‍රශ්ණ කර සිටියි.

අතුරුදන්වූවන් ගැන අපට ස්ථීර විසඳුමක් ලැබිය යුතුයි එතෙක් මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වාගෙන යන බවද ඇය වැඩිදුරටත් පවසා සිටියාය.