SRILANKAN NEWS

ත්‍රිකුණාමලයේදි කාලතුවක්කුවට සිරවූ සිසුවිය රෝහලේ

අධ්‍යාපන චාරිකාවක් අතරතුරකදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේදී කාලතුවක්කුවකට සිරවී අනතුරට පත්වූ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක දින තුනක් තිස්සේ ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගම්පහ සිට ත්‍රිකුණාමලයට පාසලෙන් අධ්‍යාපන චාරිකාවකට සිසුවියන් රැගෙන ගොස් ඇතැයිද ඔවුන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ කෞතුකාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වී ඇතැයිද ඒ අවස්ථාවේ එහි තිබූ විශාල කාලතුවක්කුවක් තවත් සිසුවියන් පිරිසක් විසින් තල්ලු කරද්දී එක් සිසුවියක ඊට සිරවී ඇතැයිද නාවික හමුදාවේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම සිදුවීමෙන් පසු නාවික හමුදාව හා ගුරුවරුන් එක්ව සිසුවිය ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ.

ඇගේ අක්මාවට හා අස්ථිවලට සුළු තුවාල සිදුවී ඇතැයි ස්කෑන් පරීක්ෂණයෙන් පෙනුණු නිසා නේවාසිකව ප්‍රතිකාර ලබා දුන් බවත් මේ වනවිට තත්ත්වය සුව අතට හැරී ඇති බවත් ඇය විවේකීව සිටින බවත් ත්‍රිකුණාමලය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුෂා රාජ්මෝගන් මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

මේ ගැන මාධ්‍ය විසින් කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක චමින්ද වලාකුළුගේ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම වී ඇත්තේ නාවික හමුදාවේ නොසැලකිල්ල නිසා නොවන බවයි. සිද්ධිය වූ දා පාසල් ළමයින් 300කට ආසන්න පිරිසක් අධ්‍යාපන චාරිකාවකට පැමිණි බවද කණ්ඩායම් වශයෙන් ඔවුන් එක් එක් අංශව නිරීක්ෂණයට ගිය බවද නාවික හමුදා සාමාජිකයෙකු එක් සිසුවියන් කණ්ඩායමකට කාලතුවක්කු ගැන කියා දෙමින් සිටියදී මෙම අනතුර වී ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

සිසු සිසුවියන් අධ්‍යාපන චාරිකාවලට කැඳවාගෙන යාමේ ගුරුවරුන්ගේ අවධානය මත මෙවන් අනතුරු වළක්වා ගත හැකි බවද ඔහු ප්‍රකාශ කර ඇත.