මුල්ලතිව් කේප්පාපිලවු ප්‍රදේශයේ නිදහස් නොකළ අක්කර 482ක ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා කේප්පාපිලවු ජනතාව 12 වන දිනටත් විරෝධතා ව්‍යාපාරයෙහි නිරතව සිටින අතර, අද තෙවන දිනටත් ආහාර වර්ජනයකද යෙදී සිටිති.
මෙවැනි තත්වයකදී ඊයේ (12) දින ආහාර වර්ජනයේ නිරතවූ කාන්තාවකට සිහි නැතිවීම හේතුවෙන් එහිදී නොසන්සුන්කාරි තත්වයක් ඇතිවුණි. තම පාරම්පරික ඉඩම් අත්පත්කරගෙන සිටින හමුදාව එය කඩිනමින් නිදහස් කළ යුතු බව අවධාරණය කර කේප්පාපිලවු ප්‍රදේශයේ පිහිටා ඇති මුල්ලතිව් හමුදා කඳවුර ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
පවුල් 128කට අයත් ඉඩම් අක්කර 482කට වැඩි ප්‍රමාණයක් මෙලෙස නිදහස් කරන්නැයි එම ජනතාව ඉල්ලා සිටිති. කේප්පාපිලවු ග්‍රාම සේවා වසම යටතේ කේප්පාපිලවු පාරම්පරික ගම්මානය, සීනියා මෝට්ටයි, පිලක්කුඩිඉරුප්පු, ඉසුරිපුරම් යන ගම්මාන පිහිටා තිබෙන අතර, එහි සියළු ස්ථානවල හමුදාව ස්ථානගතව සිටියි. කේප්පාපිලවු පාරම්පරික ගම්මානය හැර අනෙකුත් ගම්මානවල ඉඩම් විශාල ප්‍රමාණයක් මේ වන විට හමුදාව විසින් නිදහස් කර තිබේ.
මෙවැනි තත්වයකදී කේප්පාපිලවු පාරම්පරික ගම්මානයේ ප්‍රධාන මාර්ගය හරස් කොට ජනාවාස ඉඩම්, නිවාස, පාසල, ආගමික ස්ථාන, ක්‍රීඩාංගනය, ගොවි බිම් යන සියළු ස්ථාන අත්පත්කරමින් හමුදාවේ දහයකට අධික ප්‍රධාන බල සේනාවන් ඇතුළුව හමුදා කඳවුරු කිහිපයක්ම ඉදිකර තිබේ.
Add Comment