SRILANKAN NEWS

ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරයක් දරන්න බැහැ – නීතිපති

ගීතා කුමාරසිංහ මහත්මියට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත් වීමට හෝ කටයුතු කිරීමට නොහැකි බව නීතිපතිවරයා විසින් ඊයේ (14) අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 91 වන වගන්තිය අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව පෙන්වාදී තිබේ.

ගීතා කුමාරසිංහ මහත්මියට ස්විස්ටර්ලන්තයේ හිමි පුරවැසිභාවය මේ දක්වා අවලංගුකර ඇති බවට අධිකරණය හමුවේ කරුණු දක්වා නොමැති බැවින් ඇයට ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට නොහැකි බව දැනුම් දී තිබේ.

ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී ගීතා කුමාරසිංහ මහත්මිය ගාල්ල දිස්ත්‍රීක්කයෙන් තේරීපත්වීම අභියෝගයට ලක්කරමින් ගාල්ල ප්‍රදේශවාසීන් සිව්දෙනෙකු ගොනු කළ පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ගීතා කුමාරසිංහ, ආගමන විගමන පාලකවරයා, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා එම පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.