SRILANKAN NEWS

මාලඹේ සයිටම් නිළධාරියාට වෙඩි තැබීමේ සිද්ධිය පරීක්‍ෂණ කිරීම CIDය යටතට

මාලඹේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සමීර සේනාරත්නට වෙඩිතැබීමේ සිදුවීමට අදාළ පරීක්ෂන සංවිධානාත්මක අපරාධ සම්බන්ධ පොලිස් ඒකකය සහ මිරිහාන විශේෂ පොලිස් ඒකකය විසින් නිසිලෙස සිදු නොකරන්නේ යැයි චෝදනා කරමින් එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වෙත පැවරිමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණට ඊයේ (21) නියෝග කර තිබේ.

එම වෙඩිතැබීම රඟපෑමක් බව මේ වනවිට අනාවරණය වී ඇති නමුත් එහි සැකකරුවන් දෙදෙනෙකු ලෙස නම්කර සිටි කඩුවෙල නගර සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රී අරුණ ලක්මාල විලත්ගමුව සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු වන සුසිල් උදය කුමාර සැකකරුවන් නොවන බව අද සංවිධානාත්මක අපරාධ සම්බන්ධ පොලිස් ඒකකය සහ මිරිහාන විශේෂ පොලිස් ඒකකය අධිකරණයට ප්‍රකාශ කර ඇත.

එම සැකකරුවන් දෙදෙනා මෝසමක් මගින් අධිකරණයට භාරවීම සඳහා අද නීතීඥ ප්‍රේමනාත් ශ්‍රී දොලවත්ත මහතා මාර්ගයෙන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් වී ඇති අතර එහිදී ඔවුන් සැකකරුවන් නොවන බව පොලිස් නිලධාරීන් පවසා තිබේ. මීට පෙර ඔවුන් සැකකරුවන් බවට සඳහන් කරමින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබියදී අද දින මෙවැන්නක් වාර්තා කිරීම පරස්පර බැවින් සංවිධානාත්මක අපරාධ සම්බන්ධ පොලිස් ඒකකය සහ මිරිහාන විශේෂ පොලිස් ඒකකය මෙහි පරීක්ෂන නිසි ලෙස සිදු නොකරන බවට අධිකරණය චෝදනා කර ඇත. එමෙන්ම අදාළ සැකරුවන් දෙදෙනා මුදාහැරීමටද අධිකරනය නියෝග කර තිබේ.