SRILANKAN NEWS

රට නොබෙදා බලය බෙදිය යුතුයි – අගමැති

රට නොබෙදා බලය බෙදා දිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. මරදාන, සුදුවැල්ලේදී බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයට අද (29දා) සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“ජාතික සංහිදියාව ඇති කිරීමේදී රට බෙදන්නේ නැතුව බලය බෙදන්නේ කෙසේද යන්න අප කල්පනා කළ යුතුයි, ඒකීය භාවය ශක්තිමත් කිරීම සඳහා බලය බෙදාහැර එක් එක් ප්‍රදේශවල සිටින ජනතාවට තමන්ගේ වැඩකටයුතු සිදු කිරීමට හා තමන්ගේ ආගම ඇදහීමට අවස්ථාව ලබා දිය යුතුයි. පළාත් සභා බලතල වැඩිකිරීම පිළිබඳ සංශෝධන උතුරේ මහ ඇමැතිවරයා පමණක් නොව දකුණේ මහ ඇමැතිවරුන් ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ජාතිවාදී ප්‍රශ්න නැති නම් අපට රටක් වශයෙන් ශීඝ්‍රයෙන් ඉදිරියට යා හැකියි. දේශපාලන පක්‍ෂවල විවිධ අදහස් තිබිය හැකියි. එම අදහස් අවශ්‍යයි. එම අදහස් තමන්ගේ ධර්මය අනුව හා රටේ අනාගතය වෙනුවෙන් ඉදිරිපත් විය යුතුයි. ජාතිවාදය අවුස්සන්නේ දේශපාලන වශයෙන් බංකොළොත් වෙච්ච පිරිසක්. අද මෙවන් අදහස් අපට අවශ්‍ය වන්නේ නැහැ. අප සිතිය යුත්තේ සියලූ දෙනාම එකට එක්වී ක්‍රියා කරන්නේ කෙසේද යන්නයි.“ පවසා තිබේ.