SRILANKAN NEWS

කීත් නොයාර් සිද්ධියට සම්බන්‍ධ සැකකරුවන් මැයි 7 දක්වා යළි රිමාන්ඩ්

මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිදුවීමේ සැකකරුවන් ඇපමත නිදහස් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය අවලංගු කරමින් කොළඹ මහාධිකරණය විසින් ඊයේ (07) යළි නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිදුවීමේ සැකකරුවන් ඇපමත නිදහස් කිරීමට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (07) කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත සළකා බලමිණි.

කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය 30 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. එහෙත් කීත් නොයාර් මහතා එම පෙරට්ටුව සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් නොවීය. ඒ හේතුවෙන් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් හඳුනාගැනීමේ පෙරෙට්ටුව විසුරුවා හැර සැකකරුවන්ට ඇප ලබාදීමට නියෝග කර තිබිණි.

කෙසේ වෙතත් සැකකරුවන්ට එරෙහිව ගිනි අවි පනත යටතේද චෝදනා ගොනුකර තිබූ හෙයින් ඔවුන් ඇපමත නිදහස් කිරීම සඳහා වූ නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත සළකා මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ඇප ලබාදීම අහෝසි කර තිබේ.

ඒ අනුව මැයි මස 07 වැනිදා දක්වා සැකකරුවන් නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහාධිකරණය නියෝග කර තිබේ.